Nov 18, 2016

මහින්දගේ 71 වන ජන්ම දිනය අදයි

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ 71 වැනි ජන්ම දිනය අදට (18 දාට) යෙදී තිබේ.

මේ නිමිත්තෙන් අනුරාධපුර ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ අබියසදී, කැලණිය රජමහා විහාරස්‌ථානයේදී හා දිවයිනේ විවිධ ප්‍රදේශවල විහාරස්‌ථාන ඇතුළු ආගමික සිද්ධස්‌ථානවලදී අද සහ හෙට (18, 19) විවිධ ආගමික වැඩසටහන් පැවැත්වේ.

හිටපු ජනාධිපතිවරයාට ආශිර්වාද පතා බෝධිපූජා දානමය වැඩසටහන් රැසක්‌ මෙම ආගමික සිද්ධස්‌ථානවලදී පැවැත්වෙනු ඇත.

අද පස්‌වරුවේ ඒකාබද්ධ විපක්‍ෂයේ මන්ත්‍රීවරුන් සංවිධානය කරනු ලබන සෙත් පැතීමේ පිංකමක්‌ කැලණිය රජමහා විහාරස්‌ථානයේදී පැවැත්වේ.

හෙට (19 දා) අනුරාධපුර ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ හා රුවන්වැලි මහා චෛත්‍ය රාජයාණන් වහන්සේ ප්‍රමුඛ අටමස්‌ථානවලදී පිංකම් රැසක්‌ පැවැත්වේ.

අනුරාධපුර ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ අබියසදී සෙත්පතා බෝධි පූජා පිංකමක්‌ ද, රුවන්වැලි චෛත්‍යරාජයාණන් වහන්සේ අබියසදී කප්රුක්‌ පූජාවක්‌ ද පැවැත්වේ. එදින දහවල් අනුරාධපුර ශ්‍රී සම්බුද්ධත්ව ජයන්ති විහාරස්‌ථානයේදී මහා සංඝරත්නය උදෙසා දහවල් දානය පිරිනැමේ.

20 වැනි දින පස්‌වරුවේ අනුරාධපුර මුස්‌ලිම් මහා පල්ලියේදී හා හින්දු දේවස්‌ථානයේදී විශේෂ ආගමික වැඩසටහනක්‌ පැවැත්වීමට කටයුතු යොදා ඇත.

ඒකාබද්ධ විපක්‍ෂයේ අනුරාධපුර දිස්‌ත්‍රික්‌ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්‌. එම්. චන්ද්‍රසේන මහතා ඇතුළු ඒකාබද්ධ විපක්‍ෂයේ මන්ත්‍රීවරු විසින් මෙම ආගමික උත්සව සංවිධාන කර ඇත.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top