Aug 31, 2017

පොලිස්පති කොමිසමට නොඑයි : CID අධ්‍යක්ෂත් පත් නොවෙයි

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ධුරයට පත් කරන්නේ කවුරුන්දැයි පිළිබඳ අද (31) දිනයේ තීරණයක් නොගත් බව පොලිස් කොමිෂන් සභාවේ ලේකම් ආරියදාස කුරේ මහතා පවසයි.

පොලිස්පති පූජිත ජයසුන්දර මහතා අද දිනයේ ද කොමිසමට නොපැමිණි බවද ඒ මහතා කියයි.

එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ලෙස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මෙවන් සිල්වා මහතාගේ නම පොලිස්පතිවරයා විසින් පසුගිය සතියේදී කොමිසමට නිර්දේශ කරනු ලැබීය.

දැනට එහි නියෝජ්‍ය අධ්‍යක්ෂ දරන ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතා එම ධුරයට පත් කිරීමට නුසුදුසු වන්නේ දැයි පොලිස් කොමිසම ජයසුන්දර මහතා ගෙන් පසුගිය සතියේ විමසා තිබිණි.

නව අධ්‍යක්ෂ ලෙස පත් කරන්නේ එහි සිටින දක්ෂතම නිලධාරියකු වන ශානි අබේසේකර මහතා ද එසේත් තැතිනම් මෙවන් සිල්වා මහතා ද යන්න අද දිනයේ තීරණය කිරීමට නියමිතව තිබූණු බව කොමිෂන් සභා ආරංචිමාර්ග පවසයි.

රෝයල් පාර්ක් ඝාතනය, අඟුලාන ද්විත්ව මිනී මැරුම, උඩතලවින්න ඝාතනය, මොහොමඩ් සියාම් ඝාතනය, කෝටි දෙකේ මංකොල්ලය, ටවුන්හෝල් බෝම්බය ඇතුළු සුප්‍රසිද්ධ පරීක්ෂණ රැසක් මෙහෙයවූ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතා මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ලෙස කටයුතු කරයි.

ඔහුගේ විමර්ශනවල ප්‍රතිඵලයක් ලෙස නියෝජ්‍ය පොලිස්පතිවරයකුට පවා මරණ දඩුවම හිමි වී තිබේ.

පොලිස්පතිවරයාට පමණක් වග කියන පොලිස් විශේෂ විමර්ශන ඒකකයේ අධ්‍යක්ෂ ලෙස කටයුතු කරන ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මෙවන් සිල්වා මහතා මීට වසරකට පමණ පෙර ලලිත් ජයසිංහ මහතාට ද චෝදනා පත්‍ර නිකුත් කරන ලෙස යෝජනා කර තිබිණි.

පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතාට එරෙහි විමර්ශනය පවත්වනු ලබන්නේ ද මෙවන් සිල්වා මහතා විසිනි. ඔහුගේ මෙහෙයවීමෙන් විශේෂ විමර්ශන ඒකකය මගින් තවත් විශේෂ විමර්ශන කිහිපයක් සිදු කෙරෙයි.

රහස් පොලිසියේ අධ්‍යක්ෂ ධුරය පුරප්පාඩු වූයේ එහි අධ්‍යක්ෂ ලෙස කටයුතු කළ සුදත් නාගහමුල්ල මහතා නියෝජ්‍ය පොලිස්පති ධුරයට උසස් කිරීමෙන් පසුවය.

මූලාශ්‍රය - ලංකාදීප

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top