Sep 01, 2017

පොලිතීන් තහනම්: ගැසට් එක මෙන්න (update)

මයික්‍රෝ 20 ට අඩු පොලිතීන් භාවිතාව හා ඒ ආශ්‍රිතව භාණ්ඩ නිපදවීම සහ විකිණීම තහනම් කිරීමට අදාල ගැසට් නිවේදනය රජය විසින් අද (01දා)   නිකුත් කර තිබේ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ අත්සනින් යුතුව අදාල ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.

ඒ අනුව අද (01) සිට දේශීය භාවිතය සඳහා ප‍්‍රසාරික පොලිස්ටයරින් යොදා ගනිමින් ආහාර ඇසුරුම් පෙට්ටි, පිඟන්, කෝප්ප හා හැඳ නිපදවීමද තහනම් වේ.

එසේම එම ද්‍රව්‍ය අලෙවිය, අලෙවිය සඳහා ප‍්‍රදර්ශනය කිරීම, නොමිලේ ලබාදීම හෝ භාවිතය ද තහනම් වන බව අදාළ ගැසට් නිවේදනයේ දැක්වේ.

Gazzet

update-11.50am

--------------------------------------------------------------------------------------------------------------------------------------------------------------

ලන්ච් ෂීට්‌ ෂොපින් බෑග් තහනම අද සිට

පොලිතින් හා ප්ලාස්‌ටික්‌ මගින් ඇති වී තිබෙන පාරිසරික ගැටලු අවම කිරීමේ කෙටිකාලීන පියවරක්‌ ලෙස ආහාර එතීම සඳහා භාවිත කරන දවටන (ලන්ච් ෂීට්‌) ආනයන කිරීම, නිෂ්පාදනය හා විකිණීම අද (01 වැනිදා) සිට තහනම් වේ.

ඊට අදාළ ගැසට්‌ නිවේදනය අද (01) නිකුත් කෙරේ.

එමෙන්ම ජාතික, ආගමික, සමාජයීය, සංස්‌කෘතික හා දේශපාලන උත්සව ඇතුළු සියලු උත්සව සැරසිලි කටයුතුවලදී පොලිතින් භාවිතය තහනම් බව මධ්‍යම පරිසර අධිකාරිය පවසයි.

පොලිතින් භාවිතය අවම කිරීම සඳහා කෙටිකාලීන ක්‍රියාමාර්ග 12 ක්‌ මධ්‍යකාලීන ක්‍රියාමාර්ග දෙකක්‌ හා එක්‌ දීර්ඝකාලීන ක්‍රියාමාර්ගයක්‌ ගැනීමට නියමිතය.

කෙටිකාලීන ක්‍රියාමාර්ග ලෙස මයික්‍රෝන් 20 ට සමාන හෝ ඊට අඩු ඝනකමින් යුත් පොලිතින් භාවිතය, විකිණීම හා නිෂ්පාදනය තහනම් කරමින් දැනට නිර්දේශ කර ඇති රෙගුලාසි එලෙසම ක්‍රියාත්මක කිරීමත් පොලිස්‌ටයිරින් අමුද්‍රව්‍ය ලෙස යොදා ගන්නා ආහාර ඇසුරුම් පෙට්‌ටි, ප්ලාස්‌ටික්‌ පිඟන්, කෝප්ප හා හැඳි ආනයනය, නිෂ්පාදනය විකිණීම සහ භාවිතය තහනම් කිරීමත් පොලිතින්වලින් සාදන ලද කවරවල බහා සකසන ලද හෝ පිසූ ආහාර විකිණීම තහනම් කිරීමටත් තීරණය කර ඇත.

පොලිතින් ඇසුරුම්වලට විකල්ප :

එමෙන්ම භාණ්‌ඩ මිලදී ගන්නා අවස්‌ථාවලදී පාරිභෝගිකයන් වෙත ලබාදෙන ලද පොලිතින් ඇසුරුම්වලට විකල්ප වශයෙන් කඩදාසි, පන්, රෙදි වැනි පරිසර හිතකාමී ඇසුරුම් මලු ලබාදීම හා එවැනි ඇසුරුම් නිෂ්පාදනයේදී ජෛව හායනයට ලක්‌වීම මගින් දිරාපත් වන ප්ලාස්‌ටික්‌ ද්‍රව්‍ය යොදා ගැනීම ප්‍රවර්ධනය කිරීමටත් නියමිතය.

තවද විවෘත භූමිවල පොලිතින් හා ප්ලාස්‌ටික්‌ පිලිස්‌සීම තහනම් කිරීමට ද මේ යටතේ තීරණය කරනු ලැබ ඇත.

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top