nsb

Nov 19, 2016

'රෝහිත රාජපක්‌ෂගේ අභ්‍යවකාශ කතා බොරු' - මලික්

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බාල පුත් රෝහිත රාජපක්‌ෂ මහතාගේ මූලිකත්වය යටතේ චන්ද්‍රිකාවක්‌ අභ්‍යවකාශ ගතකළ බවක් තමන් විශ්වාස නොකරන බව සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළෙඳ ඇමැති මලික්‌ සමරවික්‍රම මහතා ඊයේ (18 දා ) පාර්ලිමේන්තුවේදී කීවේය.

ජවිපෙ මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්‌ස මහතා ඇසූ පැනයකට පිළිතුරු දෙමින් සමරවික්‍රම මහතා එසේ කීවේය.

රුපියල් කෝටි 1800 ක්‌ ආයෝජනය කරන බව ප්‍රකාශ කළද 'සුප්‍රිම් සැට්‌' පෞද්ගලික සමාගම එවන් මුදලක්‌ ආයෝජනය කර නැතැයි පැවසු ඇමති සමරවික්‍රම මහතා, චන්ද්‍රිකා තාක්‍ෂණය පිළිබඳ එම සමාගමට පළපුරුද්ද ඇතැයි අනාවරණය වී නැති බවද කීය.

කාර්ගෝ සමාගමක්‌ :

සුප්‍රිම් සැට්‌ යනු කාර්ගෝ සමාගමක්‌ බවද ඔවුන්ගේ පළපුරුද්ද හා සේවාව මුහුදේ සහ මහ පාරේ භාණ්‌ඩ ප්‍රවාහනය මිස අභ්‍යවකාශයට යානා යෑවීම නොවන බවද නලින්ද ජයතිස්‌ස මහතා එහිදී කීවේය.

අභ්‍යවකාශයට යෑවූ චන්ද්‍රිකාව මේ වන විට තිබෙන්නේ කොහේදැයි සුප්‍රිම් සැට්‌ අධ්‍යක්‍ෂවරයා ගෙන්වා ප්‍රශ්න කරන ලෙසද, එසේ නැතිනම් එම චන්ද්‍රිකාව පිළිබඳ සොයා බැලීමට තවත් චන්ද්‍රිකාවක්‌ යවන ලෙසද නලින්ද ජයතිස්‌ස මහතා ඉල්ලා සිටියේය.

''ආයෝජන මණ්‌ඩලය සුප්‍රිම් සැට්‌ සමඟ චන්ද්‍රිකා තාක්‌ෂණය පිළිබඳ ගිවිසුමක්‌ අත්සන් කර තිබෙනවා. මම දන්නේ නෑ ගිය ආණ්‌ඩුව කාලේ කළේ''... යෑයිද ඇමති මලික්‌ සමරවික්‍රම මහතා වැඩිදුරටත් කීවේය.

එදා කිව කතා :

“සුප්‍රීම් සැට් 1” සන්නිවේදන චන්ද්‍රිකාව 2012 නොවැම්බර් 27දා පස්වරුවේ අභ්‍යවකාශ ගත කළ බව මාධ්‍ය විසින් එකල වාර්තා කර තිබිණ.

ඒ සම්බන්ධයෙන් අදහස් දක්වා තිබු සුප්‍රිම් සැට් සමාගමේ මෙරට ප්‍රධාන විධායක නිලධාරී විජිත් පීරිස් නැමැත්තා, සුප්‍රිම් සැට් වන් චන්ද්‍රිකාව අභ්‍යාවකාශ ගත කෙරුණේ චීන – ශ්‍රී ලංකා සමාගම් දෙකක සහයෝගීතාවයෙන් බවත්, අභ්‍යාවකාශ ගත කෙරුණු මෙම චන්ද්‍රිකාව මගින් චන්ද්‍රිකා රූපවාහිනී සේවාවන් සඳහා එළඹෙන වසරේ ජූලි මාසයේ සිට පහසුකම්ද සැපයීමට නියමිත බවත් අනාවරණය කර තිබිණ.

අභ්‍යාවකාශ ඉංජිනේරු රාජපක්ෂ ?

මෙම ව්‍යාපෘතියේ වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන 320 ක් බවත්, වසර එකහමාරකට පෙර ආරම්භ කළ මෙම ව්‍යාපෘතියේ මූලික අදහසේ හිමිකරු වන්නේ අභ්‍යාවකාශ ඉංජිනේරු රෝහිත රාජපක්ෂ මහතා බවත් ඔහු එහිදී සඳහන් කර තිබිණ.

හිටපු අමාත්‍ය තිස්ස විතාරණ, 'අභ්‍යවකාශ ඉංජිනේරු' රෝහිත රාජපක්ෂ ඇතුළු පිරිසක් චන්ද්‍රිකාව කක්ෂගත කිරීමේ අවස්ථාවට එක්වු බවද එම වාර්තාවල සඳහන්විය.

ඒ අතර, සුප්‍රීම් සැට්‌ සමාගමේ සභාපති ආර්. එම්. මනිවත්තන් මහතා එකල මාධ්‍යවලට පවසා තිබුනේ, චන්ද්‍රිකා රූපවාහිනි සේවාවන් වැඩි දියුණු කිරීම මූලික කරගෙන අභ්‍යවකාශ ගත කෙරෙන සුප්‍රීම් සැට්‌-1 චන්ද්‍රිකාව චීනයේ ප්‍රමුඛතම චන්ද්‍රිකා සමාගමක්‌ වන "චයිනා සැටලයිට්‌" කෝපරේෂන් කමියුනිකේෂන්ස්‌ ප්‍රයිවට්‌ ලිමිටඩ් ආයතනය විසින් නිපදවා ඇති බවත්, එහි අයිතිය ශ්‍රී ලංකාවේ සුප්‍රිම් සැට්‌ සමාගම සතුව පවතින බවත්ය.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top