Sep 04, 2017

ෆොනීගේ කට ආණ්ඩුවේ හෙනේට හිටලා ?

රජයේ කැබිනට් අමාත්‍යධූරයක් හොබවන පුද්ගලයෙක් ලෙස සරත් ෆොන්සේකා මහතා හිටපු හමුදාපතිවරයාට එරෙහිව සාක්ෂි දීමට ඉදිරිපත් වීම තුළින් විධායකය අපේ රණවිරුවන් පාවා දීමකට ලක් කර ඇතැයි ගෙවිඳු කුමාරතුංග මහතා පවසයි.

අද (04) සම්බුද්ධත්ව ජයන්ති මන්දිරයේ දී “යුතුකම සංවාද කවය“විසින් හිටපු හමුදාපති ජගත් ජයසූරිය මහතාට එරෙහිව සිදු කර ඇති ප්‍රකාශයන් සම්බන්ධයෙන් අදහස් දැක්වීමට සංවිධානය කර තිබු මාධ්‍ය හමුවකට එක් වෙමින් මෙම අදහස් පළ කළේය.

විධායක බලයක් හොබ වන පුද්ගලයෙකු හිටපු හමුදාපතිවරයාට එරෙහිව ප්‍රකාශයක් සිදු කිරීමෙන් එය රජයේ මතවාදය වන බවත් එයින් රජය රණවිරුවා ආරක්ෂා කරන්නේ කෙසේ ද යන්න ගැටළුවක් බවත් කුමාරතුංග මහතා මෙහිදී වැඩිදුරටත් කියා සිටියේය.

මෙහිදී අදහස් දක්වමින් මාධ්‍ය හමුවට එක්ව සිටි ජනාධිපති නීතීඥ මනෝහර ද සිල්වා මහතා කියා සිටියේ, අද වන විට වෙනත් රාජ්‍යයන් තුළ අධිකරණ මඟින් ලංකාවේ මානුෂීය මෙහෙයුම සම්බන්ධයෙන් නොයෙක් මත ඉදිරිපත් කරමින් සිටින බවත්, ජීනිවා නුවර මානව හිමිකම් කවුන්සලයේ නිර්දේශවලට අනුව ගෝලීය අධිකරණයකට එකඟත්වය හිමි වීම තුළ බොහෝ අවාසිදායක තත්ත්වයන් මෙරට රණවිරුවට හිමිවන බවයි.

කෙසේ වෙතත් අතුරුදන් වූවන්ගේ කාර්යාලය පිළිබඳ පනත පාර්ලිමේන්තුවේ සම්මත කර ගැනීම හා සාක්ෂි ආඥා පනත තුළින් ප්‍රකාශ සටහන් කර ගැනීම සම්බන්ධයෙන් බොහෝ ගැටළු නිර්මාණය වී ඇති බවත් එයින් සාක්ෂි විමසා බැලීමෙන් පසු ඕනෑම රටක පරීක්ෂණයක් සිදු කිරීමේ හැකියාව පවතින බව ද මනෝහර ද සිල්වා මහතා පැවසීය.

මේ සඳහා විපක්ෂයට යම් බලපෑමක් කිරිම සඳහා මැදිහත් වන ලෙසට ද ඔහු ඉල්ලීමක් කළේය.

දේශපාලඥයෝ කට පාවිච්චි කරන විදිය ගැන ෆොනීගෙන් උපදෙස්

මේ අතර, කිරිබත්ගොඩ නගර මධ්‍යෙය් අද (04) පැවති පිළිගැනීමේ උත්සවයකට සහභාගීවෙමින් ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍ය ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා කියාසිටියේ සෑම දේශපාලඥයෙකුම තමන් විසින් සිදු කරනු ලබන ප්‍රකාශ වගකීමෙන් සිදු කළ යුතු බවයි.

හිටපු හමුදාපති ජගත් ජයසූරිය මහතා පිළිබඳ සිදුකළ ප්‍රකාශයකට එරෙහිව අද පස්වරුවේ කිරිබත්ගොඩ නගරයේ පැවැත්වූ විරෝධතාවයට එරෙහිව අදාළ පිළිගැනීමේ උත්සවය අද පෙරවරුවේ කිරිබත්ගොඩ දී පැවැත්වීය.

අමාත්‍යවරයාගේ පාක්ෂිකයන් විසින් මෙය සංවිධානය කර තිබුණි.

අතීතයේ වෙනසක් නැතුව වරදක් කළ විට හමුදා නිලධාරීන්ට දඩුවම් ලබා දුන් බවත් එනිසා රජයක් ලෙස ජනතාවගේ පැත්තේ සිට නිල ඇඳුමක් දරා සිටිය ද යම් වැරුද්දක් කර ඇත්නම් එයට දඩුවම් ලබා දිය යුතු බවත් පැවසූ අමාත්‍යවරයා එනිසා රාජ්‍ය නායකයින් හා දේශපාලඥයින් තම ප්‍රකාශයන් පිළිබඳ වගකීමෙන් හැසිරිය යුතු බව ද අවධාරණය කර සිටියේය.

දේශද්‍රෝහියෙකු ලෙස අද වන විට තමා හඳුන්වනු ලබන බවට මාධ්‍යවේදීන් විසින් අසන ලද පැනයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා පවසා සිටියේ, පසු ගිය කාලයේ දී දේශද්‍රෝහීන් ලෙස අද තමාට කියන පුද්ගලයින් යුද සමයේ දී අනුරාධ පොළොන්නරුව ප්‍රදේශයෙන් එහාට හෝ යෑමට බිය වු පිරිසක් බවයි.

ෆොන්සේකාගේ ප්‍රකාශය පහත විඩියෝවේ.

ෆොනීගෙ පඹයා කිරිබත්ගොඩදී පුච්චයි !

ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍ය ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා විසින් හිටපු හමුදාපති ජගත් ජයසූරිය මහතා පිළිබඳ සිදුකළ ප්‍රකාශයකට එරෙහිව අද පස්වරුවේ කිරිබත්ගොඩ පැවැති විරෝධතාවයට විශාල පිරිසක් එක්ව සිටි බව වාර්තා වේ.

එහිදී ෆොන්සේකා මහතාගේ පඹයකුද සකසා තිබූ විරෝධතාකරුවෝ ෆොන්සේකාගේ පඹයාට තලා කිරිබත්ගොඩ නගර මධ්‍යයේ ගිනිතැබීය.

එම අවස්ථාව පහත වීඩියෝවේ දැක්වේ.


Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top