Nov 21, 2016

'දිනේෂ්ලාගේ කුමන්ත්‍රණයක් - ඉන්දියාව බලාගනිවී' (වීඩියෝ)

හමුදා කුමන්ත්‍රණ කතාව පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා ඇතුළු ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායමේ පැහැදිලි කුමන්ත්‍රණයක් බව ඇමති එස්. බී. දිසානායක මහතා පවසයි.

''කුමන්ත්‍රණයක් කරන්න තරම් අපේ හමුදාව පහත් තත්වයට ඇද වැටිල  නැහැ... මේක හමුදාවටයි අපේ රටටයි කරපු බරපතල අපහාසයක්.'' යයි ඔහු කියා සිටියි.

ඇමතිවරයා මෙම කාරණය සඳහන් කලේ, දිගින් දිගටම රට තුල ප්‍රජාතන්ත්‍රවාදය මර්ධනය කරමින් ඇති තත්වයක් යටතේ නුදුරේදීම ආණ්ඩුවට එරෙහිව රට තුල හමුදා කුමන්ත්‍රණයක් ඇති විය හැකි යයි පාර්ලිමේන්තු මන්ත්‍රී  දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී අයවැය කාරක සභා අවස්ථාවේ විවාදයට එක්වෙමින් නොවැම්බර් 19දා සිදුකල ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමිනි.


ඉන්දියාව සමග මිත්‍රව සිටින තාක් :


ඒ සම්බන්ධයෙන් කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමති එස්.බී. දිසානායක මහතා,
ඉන්දියාව සහ වත්මන් ආණ්ඩුව අතර පවතින මිත්‍රත්වය සහ විශ්වසනීයත්වය හේතුවෙන් ශ්‍රී ලංකාව තුළ හමුදා කුමන්ත්‍රණයක් සිදු වීමට කිසිදු ඉඩක් නොමැති බව කියා සිටියේය.

ඉන්දියාව සමග මිත්‍රව සිටින තාක් එවැනි දෙයකට කිසිදු බියක් ඇති කර ගත යුතු නැතැයිද ඔහු සදහන් කලේය.

යම් හෙයකින් එවන් කුමන්ත්‍රණයක් සිදු වුවහොත් ඉන්දියාවෙන් නැවු දෙකක් එවීම පමණක් ප්‍රමාණවත් බවද ඔහු පැවසිය.

මේ අතර වව්නියාවේ පැවති උත්සවයකින් අනතුරුව මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතාගේ  ප්‍රකාශය සම්බන්ධයෙන් අදහස් පළ කළ අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ශ්‍රී ලංකාව තුළ හමුදා කුමන්ත්‍රණයකට ඉඩක් නොමැති බව අවධාරණය කළේය.

සබැඳි පුවත්:

'හමුදා කුමන්ත්‍රණයකට ඉඩක් නෑ - ආසාවක් විතරයි'

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top