Oct 07, 2017

හම්බන්තොටදී අත්අඩංගුවට ගත් 28ක් රිමාන්ඩ් ! පොලිසියට චෝදනා !!

මත්තල ගුවන් තොටුපොල ඉන්දියාවට බදුදීමට එරෙහිව හම්බන්තොට ඊයේ (06) පැවති උද්ඝෝෂණයේදී අත්අඩංගුවට ගත් 28 දෙනා හම්බන්තොට මහේස්ත්‍රාත් මංජුල කරුණාරත්න මහතා හමුව ඉදිරිපත් කිරීමෙන් පසුව මේ මස 16 වනදා දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කර තිබේ.

සැකකරුවන් මහේස්තත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කෙරුණේ ඊයේ රාත්‍රී 10.30 ට පමණය.

සැකකරුවන් වීරවිල පොලීසියට රැගෙන ගොස් ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් පසු අධිකරණ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කිරීමට හම්බන්තොට රෝහලට රැගෙන ගොස් ඇත.

 එහෙත් එම රෝහලේ අධිකරණ වෛද්‍යවරයා නොසිටි හේතුවෙන් සැකකරුවන් යළි තිස්සමහාරාම රෝහල වෙත රැගෙන ගොස් එහි ශල්‍ය වෛද්‍යවරයෙකු වෙත ඉදිරිපත් කර තිබේ..

පසුව මහේස්ත්‍රාත්වරයාගේ නිල නිවස වෙත ගෙන ගොස් අදාළ නීතිමය කටයුතු සිදුකර අවසන්වනවිට රාත්‍රී 11.30 පමණ වූ බවද වාර්තා වේ.

 ඉන්පසු මෙම සැකකරුවන් තංගල්ල බන්ධනාගාරය වෙත රැගෙන ගොස් තිබේ.

පොලිසියට බරපතල චෝදනා :

මේ අතර සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි චමින්ද සූරියපටබැදි මහතා පැවසුවේ තිස්සමහාරාම රෝහලේ ශල්‍ය වෛද්‍යවරයා හමුවට සැකකරුවන් ඉදිරිපත් කෙරුණු අවස්ථාවේදී ඔවුන් හම්බන්තොට මහරෝහලට ඇතුළත් කරන ලෙස එම වෛද්‍යවරයා නිර්දේශ කළ බවයි.

එම නියෝගය නොතකමින් පොලීසිය කටයුතු කළ බවද නීතිඥ චමින්ද සූරියපටබැදි මහතා පැවසිය.

හම්බන්තොට විරෝධතාවයේ දී පොලිස් අත්අඩංගුවට පත්වූ පුද්ගලයකුට සහකාර පොලිස් අධිකාරීවරයකු කණට ගසා ඇතැයි ද ඔහු කියා සිටියේය.

policehambanthota

අත්අඩංගුවට ගත් පුද්ගලයකුට ඒ.එස්.පී කනට ගහලා

පොලිසියේ දෙදෙනකු විසින් එම පුද්ගලයා අත්අඩංගුවට ගනු ලැබ ගෙන එද්දී එතැන සිටි සහකාර පොලිස් අධිකාරීවරයකු සැකකරුගේ කණට ගසන අයුරු දැක්වෙන වීඩියෝ පටයක් ද ඊයේ (06) සමාජය වෙබ් අඩවි පළ කර තිබිණි.
 
පහරකෑමට ලක්වූ පුද්ගලයා සති අන්ත 'ඉරිදා ඇපල්' පුවත්පතේ නිදහස් මාධ්‍යවේදියකු බවවාර්තා වේ.
 
කිසිම සැකකරුවකුට අත්අඩංගුවට පත්වූ පසු පහර දිය නොහැකි බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.

දිවුලපිටිය පොලිසියේ අපරාධ අංශයේ වැඩ බලන ස්ථානාධිපතිවරයා අත්අඩංගුවට පත්වූයේ ද එවැනි සිදුවීමක් නිසා යැයි ද එම නිලධාරියා කීවේය.
 
පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතාගෙන් මේ ගැන විමසීමේදී ඒ මහතා පැවසුවේ සැකකරුවකු අත්අඩංගුවට ගත් පසු පහර දිය නොහැකි බවයි.

හම්බන්තොට පහරදීමේ සිද්ධිය ගැන සොයා නොබලා ප්‍රකාශයක් කළ නොහැකි බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.


සබැඳි පුවත් :
හම්බන්තොට විරෝධතාව: 28ක් අත්අඩංගුවේ

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top