Nov 23, 2016

'ෆෙඩරල් ගැන බොරු බියක් : ඒකීය රාජ්‍යයක් හදමු ' - විග්නේශ්වරන්

ෆෙඩරල් ක්‍රමයෙන් සිදුවන්නේ රට බෙදීමක් නොව ඒකීය රාජ්‍යය ගොඩනැගීම බව උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේශ්වරන් මහතා පවසයි.

ප්‍රධාන අමාත්‍යවරයා මේ බව කියා සිටියේ, ඊයේ  (22) ශ්‍රී ලංකා පදනම් ආයතනයේ පැවති මාධ්‍ය හමුවට සහභාගීවෙමිනි.

"දෙමළ ජනතා මණ්ඩලය" විසින් එම මාධ්‍ය හමුව සංවිධානය කර තිබිණ.

 ෆෙඩරල් ක්‍රමය පිලිබඳ ජනතාවට වැරදි අසහසක් දී ඇත්තේ දේශපාලකයන් බවත් ඒ අනුව ෆෙඩරල් කී සැණින් ජනතාව  බිය වන බවත් විග්නේශ්වරන් මහතා පැවසිය.

මෙතෙක් කාලයක් දකුණේ සිංහල ජනතාව දෙමළ ජනතාවගේ අදහස්, වුවමනාව කුමක්ද යන්න පිලිබඳ නිවැරදිව අවබෝධකරගෙන නොමැති බව පැවසු විග්නේශ්වරන් මහතා, අනෙකාගේ අවශ්‍යතාවන්, ගැටළු පිලිබඳ දැනගැනීමට හැකිවන්නේ සාකච්ඡා කිරීමෙන් බව කියා සිටියේය.

දෙමළ ජනතා මණ්ඩලය ගොඩනැගෙන්නේ එම සංවාදය වෙනුවෙන් බව ප්‍රධාන අමාත්‍යවරයා අවධාරණය කළේ ය.
 
ඒ අනුව පවතින ගැටළු පිලිබඳ සාකච්ඡා කර හැමදෙනාගේම වැරදි අඩුපාඩු නිවැරදි කර ගනිමින් ඒකීය රාජ්‍යයක් තුළ ජීවත්වීමට හැකිද යන්න සාකච්ඡාවෙන් තීරණය කළයුතු බව හෙතෙම වැඩිදුරටත් පැවසීය.


පෙඩරල් දෙනවට විරුද්ධයි - මහින්ද


මේ අතර ඊයේ (22) උදෑසන මාධ්‍ය ප්‍රධානීන් සමඟ පැවැති සාකච්ඡාවකදී හිටපු ජනපති මහින්ද රාජපක්‍ෂ මහතා පැවසුයේ, ආණ්ඩුව නව ව්‍යවස්ථාව හරහා බෙදුම්වාදීන්ට 'පෙඩරල් දීමේ' සුදානමක් ඇති බවයි.

කොළඹ 07 විඡේරාම මාවත පිහිටි සිය නිල නිවසේ පැවති එම සාකච්ඡාවේදී හිටපු ජනාධිපතිවරයා මෙසේද කීවේය.

''ව්‍යවස්‌ථාව වෙනස්‌ කිරීම මූලික රාමුවක්‌ තුළ තිබිය යුතුයි. ඒකීය ව්‍යවස්‌ථාවක්‌ද පෙඩරල් ව්‍යවස්‌ථාවක්‌ද කියලා මුලින්ම බලන්න ඕනේ.

මේකට අන්තිම කැමැත්ත දෙන්නේ සුමන්තිරන්ද, ඩයස්‌පෝරාවද, නැත්නම් වෙනත් රටක්‌ද කියලා අපිට කියන්න.

මම මුලින්ම විරුද්ධ අපේ රටේ ව්‍යවස්‌ථාව වෙනත් රාජ්‍යයන්ගේ මැදිහත්වීම හරහා සිදු කිරීමටයි.

තවම මේ ගැන ඒ අයවත් හරියට කතා කරන්නේ නැහැ. හැබැයි මේ වැඩපිළිවෙළ දිහා බලාගෙන යනකොට පෙනෙනවා මේක කොයි දිශාවටද යන්නේ කියලා.

මෙතැන වචනයට ඒකීය දෙයි. බුද්ධාගමට ප්‍රමුඛ ස්‌ථානය දෙනවා කියලා වචනයට දෙයි. හැබැයි ඊට යටින් රට බෙදුම්වාදයට යට කරයි.

අපිට වචන ටික දීලා බෙදුම්වාදයට පෙඩරල් දෙන්නයි මේ සැලසුම් සකස්‌ කරන්නේ.''

මාධ්‍ය ප්‍රධානින් සමග පැවති මෙම සාකච්ජාවට බැසිල් රාජපක්ෂ මහතාගේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය එල්. පීරිස්‌ සහ ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් වන  මහින්දානන්ද අලුත්ගමගේ, කෙහෙළිය රඹුක්‌වැල්ල යන මහත්වරුද මේ අවස්‌ථාව සඳහා සහභාගි සිටියහ.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top