15976 BM WEB BANNER 01
Nov 23, 2016

ඇමැතීන් 14 කට බරපතල දූෂණ චෝදනා !

රවි කරුණානායක, මලික්‌ සමරවික්‍රම, ලක්‍ෂ්මන් කිරිඇල්ල, කබීර් හෂීම් ඇතුළු ඇමැතිවරුන් දාහතර දෙනකුට එරෙහිව ඒකාබද්ධ විපක්‍ෂය විසින් ලබන සතියේ සිට වංචා, දූෂණ චෝදනා ඉදිරිපත් කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා සඳහන් කළේය.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ඊයේ (22 දා) සිය නිල නිවසේදී මාධ්‍ය ආයතන ප්‍රධානීන් හමු වූ අවස්‌ථාවේදී මන්ත්‍රීවරයා මේ බව පැවසීය.

මේ ආණ්‌ඩුවේ දූෂණ 'ටොප් ටෙන්'ලා ගැන අපි දැන් හෙළි කරන බවත් සියලු සාධක සහිතව ඇමැතිවරුන් ගණනාවකගේ දූෂණ හෙළිකරන බවත් හෙතෙම වැඩිදුරටත් පැවසීය.

සුනිල් හඳුන්නෙත්ති මන්ත්‍රීවරයා එක පිටුවක්‌ අරගෙන අල්ලස්‌ කොමිසමට දුවනවා වගේ මේ ලිපි ගොනු සකස්‌ කර නැති බවත්, සියලු සාධක ඇමුණුම් සහිතව ලිපි ගොනු සකස්‌ කර තිබෙන බවත් මුදල් ඇමැතිවරයාට එරෙහිව චෝදනා 14 ක්‌ ඉදිරිපත් කරන බවත් මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසිය.

මුදල් ඇමැතිවරයාගේ සමාගමක ප්‍රධාන විධායකවරයා නතර වී සිටි හෝටල් බිල ගෙවන්නෙත් මුදල් අමාත්‍යාංශයෙන් බවත් මහපොළ අරමුදලේ රුපියල් බිලියන 1.5 ක වංචාවක්‌ වී ඇති බවත් මේ සියල්ල එකිනෙක ලබන සතියේ සිට ඉදිරිපත් කරන බවත් අලුත්ගමගේ මහතා සඳහන් කළේය.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top