Nov 25, 2016

'Lanka e News' කර්තෘ අල්ලන්නැයි 'රතු නිවේදනයක්' !(update) Featured

'ලංකා ඊ නිව්ස්' වෙබ් අඩවියේ කර්තෘවරයාව අත්අඩංගුවට ගැනීම සඳහා වහාම ජාත්‍යන්තර පොලිසියට දැනුම්දීමක් කරන්නැයි ගම්පහ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය වන කවීන්ද්‍රා නානායක්කාර මහත්මිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද (25) නියෝග කළාය.

 'ලංකා ඊ නිව්ස්' වෙබ් අඩවිය විසින් 20­­­­16 අගෝස්තු 24දා පළකර ඇති පුවතකින් ගම්පහ ප්‍රධාන මහේස්ත්‍රාත්වරියට  මෙන්ම, අධිකරණයට බරපතල අපහාසයක් සිදුව ඇතැයි ජනාධිපති නීතිඥ හේමන්ත වර්ණකුලසුරිය මහතා අද (25) එම අධිකරණය හමුවේ කල කරුණු දැක්වීමෙන් පසු එම නියෝගය නිකුත් කරනු ලැබිය.

රිවිර' හිටපු කර්තෘ උපාලි තෙන්නකෝන් මහතාට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් ගම්පහ අධිකරණයේ දැනට විභාග වෙමින් පවතින නඩුවක් සම්බන්ධයෙන් විනිසුරුවරිය ගත් තීන්දුවක් එම වෙබ් අඩවිය විසින් විවේචනය කර තිබිණ.

උපාලි තෙන්නකෝන් මහතාට පහර දීමේ සිද්ධියට අදාළ නඩුව අද පෙරවරුවේ විභාගයට ගත් අවස්ථාවේදී අධිකරණයට සහය දැක්වීමට ඉදිරිපත්වූ ජනාධිපති නීතිඥ හේමන්ත වර්ණකුලසුරිය මහතා, මිට පෙර මාලඹේ දහම් මාවතේ පදිංචිව සිටි සඳරුවන් සේනාධීර නැමැත්තා, මේ වනවිට සරණාගතයකු ලෙස ලන්ඩනයේ පදිංචිව සිටින බවත්, ඔහුට එරෙහිව නඩු පැවරිය නොහැකි වන අයුරින් අධිකරණයට අපහාස කරමින් ව්‍යාජ ලිපිනයක් යොදා ගනිමින් 'ලංකා ඊ නිව්ස්' වෙබ් අඩවිය ලන්ඩනයේ සිට පවත්වා ගෙන යන බවත් කියා සිටියේය.

මේ පිළිබඳව තමාගේ මැදිහත්වීම මත 'ලංකා ඊ නිව්ස්' කතුවරයාට එරෙහිව අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් පසුගිය 23දා පෙත්සම් 14 ක් ශ්‍රේෂ්ඨාධිකරණ ලේඛකාධිකාරීවරයාට බාරදුන් බව පැවසු ජනාධිපති නීතිඥ හේමන්ත වර්ණකුලසුරිය මහතා, මොහුව වහාම අත්අඩංගුවට ගැනීම සඳහා ජාත්‍යන්තර පොලිසිය වෙත දැනුම්දීමක් කරන්නැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කරන ලෙස ඉල්ලා සිටියේය.

මෙම නඩුව යලි ලබන 09 දා විභාගයට ගැනීමට නියමිතය.

update-11.00AM

----------------------------------------------------------------------------------------------------

'Lanka e News'ට එරෙහිව ගම්පහ අධිකරණයට පැමිණිල්ලක් !

'ලංකා ඊ නිව්ස්' වෙබ් අඩවිය විසින් 20­­­­16 අගෝස්තු 24දා පළකර ඇති වාර්තාවකින් ගම්පහ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය වන කවීන්ද්‍රා නානායක්කාර මහත්මියට බරපතල අපහාසයක් කර ඇතැයි චෝදනා කරමින් ජනාධිපති නීතිඥ හේමන්ත වර්ණකුලසුරිය මහතා අද (25) එම අධිකරණය හමුවේ කරුණු දැක්වීමට තීරණය කර ඇතයි 'ශ්‍රී ලංකා මිරර්' වෙත වාර්තාවේ.

'රිවිර' හිටපු කර්තෘ උපාලි තෙන්නකෝන් මහතාට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් ගම්පහ අධිකරණයේ දැනට විභාග වෙමින් පවතින නඩුවක් සම්බන්ධයෙන් විනිසුරුවරිය ගත් තීන්දුවක් එම පුවත් වාර්තාව මගින් විවේචනය කර තිබුනේ  ''රිවිර කර්තෘට පහර දුන් එකා බේරාගන්න ගම්පහ විනිසුරු බඩුව වලිකයි'' යන සිරස්තලයෙන් යුතුවය.

එම නඩු විභාගය අද විභාගයට ගැනීමට  නියමිතය.

ජනාධිපති නීතිඥ හේමන්ත වර්ණකුලසුරිය මහතා මේවනවිට විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂවරයකු ලෙස කටයුතු කරන අතර ඔහු එම තනතුරට පත්කරනු ලැබුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසිනි.


ජනපතිට හා අගමැතිට බලපෑම් !


මේ අතර, මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපතිධුරයට පත්කරමින්, රාජපක්ෂ පාලනය පලවාහැර යහපාලන ආණ්ඩුවක් ගොඩනැගීමට සුවිශාල කාර්ය භාරයක් සිදුකල 'ලංකා ඊ නිව්ස් වෙබ් අඩවියට හෝ එහි කර්තෘ සඳරුවන් සේනාධීර මහතාට අනිසි බලපෑම් නොකරන්නැයි සිවිල් සංවිධාන කිහිපයක් ජනාධිපතිවරයාගෙන් හා අගමැතිවරයාගෙන් ඉල්ලීමක් කර ඇත.

අධිකරණ ඇමැති විජයදාස රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුව තුළදී එම වෙබ් අඩවිය හා එහි කතුවරයා සම්බන්ධයෙන් සිදුකල  ප්‍රකාශයන් පිළිබඳව බලවත් සේ විරෝධය පළකර ඇති එම සිවිල් සංවිධාන නියෝජිතයින්, 'ලංකා ඊ නිව්ස්' සහ එහි කතුවරයාට එරෙහිව අධිකරණයට අපහාස කර ඇතැයි  චෝදනා කරමින් ජනාධිපති නීතිඥ හේමන්ත වර්ණකුලසුරිය මහතා විසින් පසුගිය 23දා පෙත්සම් 14 ක් ශ්‍රේෂ්ඨාධිකරණ ලේඛකාධිකාරීට බාරදීමේ සිද්ධියද දැඩිලෙස හෙළාදැක තිබේ.


මාධ්‍යයට සිදුකල තර්ජනයක් :


යහපාලන ආණ්ඩුව බලයට පැමිණ වසර 2 ක් ගත වීමට ආසන්න වුවද රාජපක්ෂ පාලන දශකයේදී 'ලංකා ඊ නිව්ස්' කාර්යාලයට ගිනි තැබීම ගැන කිසිදු පරීක්ෂණයක් ආරම්භ නොකර, එම වෙබ් අඩවියට එරෙහිව මෙලෙස කටයුතු කිරීම 'වෘත්තීය වෙබ් මාධ්‍යවේදීන්ගේ සංගමයේ' ද (Professional Web Journalists' Association - PWJA) දෝෂදර්ශනයට ලක්ව ඇත.

 එසේම, අධිකරණ ඇමැති විජේදාස රාජපක්ෂ මහතා විසින් සමාජ මාධ්‍ය ජාලා පාලනය කිරීම සඳහා අලුතින් පනතක් කෙටුම්පත් කිරීමද 'වෘත්තීය වෙබ් මාධ්‍යවේදීන්ගේ සංගමයේ' විවේචනයට හේතුවී තිබේ.

ඇමතිවරයා විසින් සිදුකල එම ප්‍රකාශයේදී 'ලංකා ඊ නිව්ස්' වෙබ් අඩවිය සහ එහි කතුවරයා සම්බන්ධයෙන් සිදුකල ආවේගාත්මක ප්‍රකාශය පිළිබඳව අදහස් දක්වමින් 'වෘත්තීය වෙබ් මාධ්‍යවේදීන්ගේ සංගමයේ' කැඳවුම්කරු ෆ්‍රෙඩි ගමගේ මහතා සඳහන් කළේ, අධිකරණ හා බුද්ධ ශාසන ඇමැති විජයදාස රාජපක්‌ෂ මහතා විසින් නොවැම්බර් 18දා පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශය මාධ්‍යයට සිදුකල තර්ජනයක් ලෙස සැලකිය හැකි බවයි.


සබැඳි පුවත් :

සමාජ ජාලා පාලනයට අලුතින් පණතක් !

අධිකරණ ඇමතිගේ ප්‍රකාශය අනතුරක සංඥාවක් - PWJA

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top