Nov 05, 2017

ඒකාබද්ධ විපක්ෂයේ අවසන් තීරණය ?- ජී.එල්. කියයි

පුළුල් සන්ධානයක් ලෙස ඉදිරි පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත්වීමට ඒකාබද්ධ විපක්ෂය මේ වනවිටත් තීරණය කර අවසන් බව බැසිල් රාජපක්ෂ මහතාගේ 'මල් පොහොට්ටුව' පක්ෂයේ නායකයකු වන හිටපු අමාත්‍ය, මහාචාර්ය ජීඑල් පීරිස් මහතා පවසයි.

එම සන්ධානය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් මැතිවරණයට ඉදිරිපත් වන බව හිටපු අමාත්‍යවරයා කියාසිටියේය.

ඔහු මෙම අදහස් පළකළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ඒකාබද්ධ විපක්ෂය එක්ව මැතිවරණයට ඉදිරිපත් වීම සම්බන්ධයෙන් පළවන වාර්තා පිළිබඳ 'නෙත් නිවුස්' කළ විමසීමකදීය.

ඒකාබද්ධ විපක්ෂය මැතිවරණයට ඉදිරිපත් වන පක්ෂය හෝ ලාංඡනය පිළිබඳ මෙතෙක් අවසන් තීරණයක් ගෙන නොමැති බව හිටපු අමාත්‍යවරයා එහිදී කියාසිටියේය.

කෙසේවෙතත් බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය ඊයේ (04) කියාසිටියේ එක්ව මැතිවරණයට තරග කිරීම සම්බන්ධයෙන් ඒකාබද්ධ විපක්ෂය සමග තවදුරටත් සාකච්ඡා කරමින් සිටින බවයි.

ශ්‍රීලනිපය පුළුල් පෙරමුණකින්

මේ අතර ලබන ජනවාරි මාසයේ දී පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණය ස`දහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පුළුල් පෙරමුණක් යටතේ තරග කිරීමට තීරණය කර තිබේ.

පසුගිය 03 දා ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති ශ්‍රීලනිප පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේ දී මේ තීරණය ගෙන ඇත.

සුළු පක්ෂ සමඟ එක්ව මේ පුළුල් පෙරමුණ නිර්මාණය වනු ඇති බවත්, ඊට අදාළ සාකච්ඡා පැවැත්වෙමින් තිබෙන බවත් මේ සම්බන්ධයෙන් කළ විමසීමක දී එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨයෙක් පැවසීය.

ශ්‍රීලනිපය එජාපය සමඟ එක්ව තරග කරන බවට මාධ්‍ය වාර්තා පළවුවද, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දුමින්ද දිසානායක ඇමැතිවරයා තරයේ ප්‍රතික්ෂේප කර තිබිණි.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top