15976 BM WEB BANNER 01
Nov 26, 2016

පාටිය ගොඩදාන්න පාටි වැලක් - අද, නීතිඥයින්ට

එක්සත් ජාතික පක්ෂයේ බිම් මට්ටමේ ක්‍රියාකාරීන් රැසක් මේ වන විට පක්ෂ නායකත්වය සම්බන්ධව දැඩි කලකිරීමකින් සිටින බවට ලැබී ඇති වාර්තා සැලකිල්ලට ගෙන ඔවුන් නැවත පක්ෂ නායකත්වයට සමීප කරවීම සඳහා විශේෂ ප්‍රිය සම්භාෂණ සාද කිහිපයක් මේ වන විට පැවැත්වෙමින් ඇති බව වාර්තා වෙයි.

මෙසේ සාද පැවැත්වීම සඳහා එක්සත් ජාතික පක්ෂය විශේෂ අවධානයක් යොමු කර තිබෙන්නේ අග්‍රාමාත්‍යවරයාගේ පෞද්ගලික කාර්යමණ්ඩලයේ ප්‍රධාන සම්බන්ධීකාරකවරයෙකු වන සුගත් චන්ද්‍රසේකර මහතා විසින් ලබා දුන් පිටු 5 ක රහසිගත වාර්තාවකින් අනතුරුවය.

ඒ අනුව පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ ඇතුළු පක්ෂ නායකත්ව මණ්ඩලයේ පිරිස් සහභාගී වන ඉන් එක් සාදයක් පක්ෂයට හිතවත්ව කටයුතු කරන නීතිඥයන් සඳහා අද දිනයේ (26) අරලියගහ මන්දිරයේදී පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත.

ඉදිරියේ දී පැවැත්වෙන සාද සඳහා පසුගිය සමයේ බල පෙරළිය වෙනුවෙන් සක්‍රිය දායකත්වයක් ලබා දුන් සහ 2015 මහ මැතිවරණයේ දී එජාපයේ ජයග්‍රහණය වෙනුවෙන් දායක වූ පළාත් පාලන මන්ත්‍රීවරුන්, ශාඛා සමිති ක්‍රියාකාරීන්, තරුණයන්, කලාකරුවන්, මාධ්‍යවේදීන් සහ සිවිල් සමාජ ක්‍රියාකාරීන් කැඳවීමට නියමිතව ඇත.

එහි දී පක්ෂ ක්‍රියාකාරීන්ට මේ වන විට මතුව ඇති ප්‍රශ්නවලට පෞද්ගලිකව පක්ෂ නායකත්වය විසින් පිළිතුරු ලබා දීමටත් පක්ෂයේ ඉදිරි දේශපාලන කටයුතු පිළිබඳ සාමාජිකයන් දැනුවත් කිරීමටත් කටයුතු යොදා ඇති බව ද වාර්තා වෙයි.

දැඩි කලකිරීමක්

මේ පිළිබඳ අප කළ විමසුමක දී සිරිකොත ආරංචි මාර්ග සඳහන් කර සිටියේ පක්ෂ නායකත්වය පමණක් නොව පක්ෂයේ ඉහළ පෙළ නායකත්වයම සම්බන්ධව පාක්ෂිකයන් අතර දැඩි කලකිරීමක් ඇති බවය.

ඊට හේතු වී ඇත්තේ මීට පෙර එක්සත් ජාතික පක්ෂය වෙත ආණ්ඩු බලය ලැබුණු විට ඒ සමයේ පක්ෂ නායකයන් කටයුතු කළේ පක්ෂයේ සාමාජිකයා ශක්තිමත් කර පක්ෂය ගොඩනැඟීම බවත් නමුත් වත්මන් නායකයා ලැබී ඇති බලය භාවිත කරමින් සිටින්නේ සිය මිතුරන් කිහිප දෙනකු ශක්තිමත් කිරීමට පමණක් බවටත් පක්ෂයේ පහළ සාමාජිකයන් අතර අදහසක් ඇතිව තිබීම බව ද එම ආරංචි මාර්ග සඳහන් කර සිටියි.

එසේම සිය මිතුරන්ගේ තනතුරු රැකදීම වෙනුවෙන් පක්ෂය ලබාගත් ජයග්‍රහණය පවා අවදානමේ හෙළන නායකයා වසර ගණනාවක් රාජපක්ෂ රෙජීමය හමුවේ පීඩාවට පත් වූ සාමාජිකයා වෙනුවෙන් සිදු කළ මැදිහත් වීමක් නොමැති බවට අදහසක් පාක්ෂිකයන් තුළ දැඩිව මතුව ඇති බව ද එම ආරංචි මාර්ග සඳහන් කරයි.

මහ ලේකම්වරයාට 'හූ' සංග්‍රහයක් :

මේ අයුරින් උද්ගත වෙමින් ඇති තත්ත්වය පිළිබඳ දිගින් දිගටම පක්ෂ නායකත්වය දැනුවත් කළ නමුත් ඒ කෙරෙහි අවශ්‍ය අවධානයක් යොමු නොවුණු බවත් එනිසා පක්ෂයේ මහ ලේකම්වරයාට පක්ෂ මූලස්ථානය තුළ දී හූ කියා එළවන තරමට තත්ත්වය දුර ගිය බවත් ද සිරිකොත ආරංචි මාර්ග පෙන්වා දෙයි.

ඒ අනුව පක්ෂයේ සාමාජිකයන් අතර මතුව ඇති කලකිරීම පහකිරීමට සාද කිහිපයකට නොහැකි බවත් ඒ සඳහා පක්ෂ නායකයන් මිතුරන් ගැන දක්වන අවධානයෙන් කොටසක් පාක්ෂිකයාට දක්වන බවට දැනෙන යමක් කළ යුතුව ඇති බවත් එම ආරංචි මාර්ග වැඩිදුරටත් අප වෙත සඳහන් කර සිටියේය.

(සංජය ලියනගේ)

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top