nsb

Nov 27, 2016

පොලිස් පොඩ්ඩන්ට එක අච්චුවේ යුනිෆෝම් !

ශ්‍රී ලංකා පොලිස් සේවයේ නියුතු පොලිස් නිලධාරීන්ට නිල  ඇඳුම් සැපයීමේ දී දෙයාකාරයකින් ක්‍රියා කිරීම නිසා ගැටලු ගණනාවක් මතුව ඇතැයි පොලිස් නිලධාරීහු පවසති.

ඊට හේතු වී ඇත්තේ උප පොලිස් පරීක්ෂකවරුන්ගේ සිට ඉහළ නිලධාරීන්ට නිල ඇඳුම් සඳහා අවශ්‍ය රෙදි සහ මැහුම් කුලිය ලබා දී පොලිස් කොස්තාපල්වරුන්ට සහ පොලිස් සැරයන්වරුන්ට මසා නිම කළ එකම ප්‍රමාණයේ නිල ඇඳුම් ලබා දීමයි.

මේ නිසා ඇතැම් නිලධාරීන්ට ලබා දෙන නිල ඇඳුම් ඇඳගෙන රාජකාරියට වාර්තා කිරීමට නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇති බව ද පොලිස් කොස්තාපල්වරු පෙන්වා දෙති.

ත්‍රස්ත විමර්ශන ඒකකය (TID) ට අනුයුක්තව සේවය කරන පොලිස් කොස්තාපල්වරුන්ට සහ පොලිස් සැරයන්වරුන්ට 2014 වර්ෂයට අදාළව ලැබිය යුතු නිල ඇඳුම් තවමත් ලැබී නැති බව ද ඔවුහු  කියති.

පොලිස් නිලධාරීන් මුහුණ දී ඇති ගැටලුව සම්බන්ධව නම සඳහන් නොකළ පොලිස් නිලධාරියකු මෙසේ පැවසීය.

“පොලිස් කොස්තාපල්වරුන්ටයි, පොලිස් සැරයන්වරුන්ටයි රෙදි මහන්නේ තුන්මුල්ලේ සේවා වනිතා ඒකකයේ. එතන මහන්නේ Large සහ Medium සයිස් එකේ නිල ඇඳුම් විතරයි. ඒවා අපිට අඳින්න බෑ. ඒවා ඇඳගෙන පොලීසියට ගියහම ලොකු මහත්වරුන් අහනවා

“මොකක්ද ඕයි තමුසෙගේ යුනිෆෝම් එක, තමුසේ හිඟන්නෙක්ද” කියලා... රුපියල් තිස්දහසක විතර වැටුපක් ගන්න අපි ලැබෙන නිල ඇඳුම අරගෙන ටේලර් ෂොප් එකට ගිහින් තවත් ගාණක් විදයම් කරලා ඇඟේ ගාණට හදාගන්න ඕන. අපි මුහුණදෙන ප්‍රශ්නය ඉහළ නිලධාරීන්ට කියන්න හැකියාවක් අපිට නැහැ. ඉහළ නිලධාරීන්ට ඇඳුම් මහගන්න රෙදි ලැබෙනවා. මැහුම් කුලිය විදියට තවත් ගාණක් ලැබෙනවා. ඒ කිසිවක් අපිට නෑ.

එකම අච්චුවේ  මහන රෙදි තමයි අපට අඳින්න සිද්ධ වෙලා තියෙන්නෙ. පොලීසිය භාර ඇමැතිගෙන් අපි ඉල්ලන්නෙ එක දෙයයි. ඉහළ නිලධාරීන්ට වගේ අපිටත් නිල ඇඳුමට රෙදියි මැහුම් කුලියයි දෙන්න.... එතකොට අඩුම ගානේ නිල ඇඳුම හරි පිළිවෙළකට ඇඳගෙන රාජකාරියට එන්න පුළුවන්”

(දයා නෙත්තසිංහ)

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top