nsb

Nov 28, 2016

හිටපු එස්.ටී.එෆ් අණදෙන නිලධාරියාට ඇප

රජයේ ජීප් රථයක් අවභාවිතා කළ බවට චෝදනා ලැබ අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු පොලිස් විශේෂ කාර්යබලකා අණදෙන නිලධාරී,විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති කේ.එල්.එම් සරත්චන්ද්‍ර මහතා රු.ලක්ෂ 10 බැගින්වූ ශරීර ඇප දෙකක් මත  නිදහස් කර තිබේ.

හිටපු ‍නියෝජ්‍ය පොලිස්පති කේ.එල්.එම් සරත්චන්ද්‍ර මහතා විසින් රජයේ ජීප් රථයක් අවභාවිතා කරමින් රජයට රු.1,40,000ක පාඩුවක් සිදුකළ බවට චෝදනා කරමින් ඔහු අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර තිබිණි.

කෙසේ වෙතත් අද දිනයේ සැකකරු වෙනුනේ පෙනී සිටින නීතිඥයින් විසින් මෝසමක් මගින් ඇප ඉල්ලා තිබුණු අතර සරත්චන්ද්‍ර මහතා සක්‍රීය රාජකාරියේ යෙදී සිටියදී අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කරන ලද සැකකරුවන් පිරිසක් සමග බන්ධනාගාරයේ රැඳෙන්නට සිදුවීමෙන් ඔහුට ජීවිත තර්ජනයක් ඇති බවට නීතිඥයින් අධිකරණයට කරුණු දක්වා තිබේ.

මීට අමතරව ඔහු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ දූෂණ විරෝධී කමිටුවේ සාමාජිකයෙකු ලෙස කටයුතු කරන බැවින් එහි රාජකාරී සඳහා සහභාගිවීමට අවශ්‍යතාවක් ඇති බවත්,එසේම යම් රෝගි තත්ත්වයකින් පෙළෙන බැවින් ඊට නිසි ප්‍රතිකාර ලබාගත යුතුව ඇති බවත් අධිකරණයට නීතිඥයින් විසින් පෙන්වාදී ඇත.

මෙම කරුණු සුවිශේෂී කරුණු ලෙස සලකා සරත්චන්ද්‍ර මහතාට ඇප ලබාදෙන ලෙස නීතිඥයින් විසින් කළ ඉල්ලීම සලකා බැලූ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය විසින් මෙලෙස ඇප ලබාදී තිබේ.

මීට අමතරව සෑම මසකම අවසන් ඉරිදා දින පොලිස් විශේෂ විමර්ශන ඒකක හමුවේ පෙනී සිටින ලෙසද සැකකරුට නියම කළ බව සඳහන්ය.

සබැදි පුවත්
පූජිත්ට ජනපතිගෙන් දෝස්මුරයක් !

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top