Nov 29, 2016

යාපාගේ පෙම් උයන ජෝන් අරං ?

ඉඩම් අමාත්‍යාංශයේ කාරක සභා අවස්ථාවේදී අමාත්‍ය ජෝන් අමරතුංග හා පාර්ලිමේන්තු මන්ත්‍රි මහින්ද යාපා අබේවර්ධන පෙම් උයනකට පටලැවිල්ලක් ඇතිකරගත්තේය.

යාපා මන්ත්‍රීවරයා කියා සිටියේ වැලිගම ප්‍රදේශයේ පිහිටා තිබුණු ‘පෙම් උයන’ යනුවෙන් හඳුන්වන ඉඩමක් ජෝන් අමරතුංග අමාත්‍යවරයා විසින් ඔහුගේ හිතවතෙකුට ලබාදී ඇති බවයි.

අබේවර්ධන මහතා එය පාර්ලිමේන්තුවට හෙළි කළේ මෙසේය.

“මේ පෙම් උයන ඉඩම වෙරළ තීරයේ පිහිටා තිබුණු හොඳම ඉඩමක්. හරිම ලස්සන තැනක පිහිටා තිබුණේ. මේ ඉඩම කිසිම වග විභාගයකින් තොරව ඉඩම් ඇමැතිතුමා විසින් පුද්ගලයකුට ලබාදීලා තියෙනවා”

ඇමති ජෝන් චෝදනාව පෙරලා උත්තර බැන්ඳේ ‘මොන කාලෙද දුන්නේ. මං දුන්නයි කියලා ඔප්පු කරන්න පුළුවන්ද?’ යනුවෙන් අසමිනි.

මහින්ද යාපා අබේවර්ධන ගෙන් ප්‍රතිචාර දැක්වුවෙ ‘මං ගෙනත් පෙන්වන්නම්’ යනුවෙන් කියමිනි.

‘කෝ තමුන්නාන්සේ ඉඩම් දුන්නයි කියපු කාලේ කිව්වේ නැහැනේ’ ජෝන් අමරතුංග අමාත්‍යවරයාගෙන් විමසුමක්.

‘තමුන්නාන්සේගේ කාලයේදී තමයි මේක දීලා තියෙන්නේ. තමුන්නාන්සේ කරපුවා මෙතැන කතා කරන්න බැහැනේ’ යනුවෙන් කියමික් මහින්ද යාපා අබේවර්ධන මහතා මුළු සභාවම හිනැස්සුවේය.

මේ දෙන්නගේ දඹරය මැද්දට පැන්න අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මහතා ‘ඔබතුමා පෙම් උයන්වලට යනවාදැයි බේවර්ධන මහතාගෙන් විමසීය.

‘ඒවට යන වයස පමාවෙලා’ යැයි යාපා පිළිතුරු බැන්ඳේය.

‘ජෝන් ඇමැතිතුමාට නම් ඒවට වයස ප්‍රශ්නයක් නැහැ’ පසු පෙළේ සිටි ඒකාබද්ධ විපක්‍ෂයේ කෙනකු කෑ ගසමින් කියූ කතාවට සියල්ලෝම සිනාසුණහ.

.’මේ පෙම් උයන වත්ත’ ඉඩම දීලා තියෙන්නේ හෝටලයක් ගහන්න.’ මහින්ද යාපා අබේවර්ධන මහතා ප්‍රකාශ කෙළේය.

ඒක හොඳ නැදැදැයි ජෝන් අමරතුංග යාපාගෙන් පෙරළා ප්‍රශ්න කළේය.

පාලිත රංගේ බණ්ඩාර මහතා ද හඬ අවදිකරමින් ‘නියම තැන තමයි නියම වැඩේට දීලා තියෙන්නේ’ යනුවෙන් කියමින් සභාවම හිනැස්සීය.

‘නියම වැඩේ මේ ඇමැතිතුමා තමයි කරලා තියෙන්නේ’ යනුවෙන් මහින්ද යාපා අබේවර්ධන මහතා ජෝන් අමරතුංග අමාත්‍යවරයාට කළ ප්‍රකාශයට යළිත් සියල්ලෝම සිනහසුණහ.

‘තමුන්නාන්සේට බැරි එකට මං මොනවා කරන්නද?’ යනුවෙන් ජෝන් අමරතුංග අමාත්‍යවරයා පිළිතුරු දුන් අතර කතාව මහ හයියෙන් සිදුවුද ප්‍රශ්නයට සැලැකියතු පිළිතුරක් නොලැබිණි.

comment (1)

  • සදුන්

    ඔය වගේ කතා කියන්න පාර්ලිමේන්තුවම ඕනෙද ප්‍රශ්ණයට හරි පිලිතුරක් නොදි ලිස්සලා යන්න තමයි දක්ෂ
    ඒ වට අනෙත් හරක් හිනා වෙලා සපොට් කරනවා මෙහෙමත් ගොන් හැත්තක්

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top