Dec 02, 2016

රට පුරා බස් වර්ජනයේ : මගීන් මහ පාරේ

මාර්ග වැරදි සඳහා දඩ මුදල් වැඩි කිරීමට විරෝධය පල කරමින් පෞද්ගලික බස් සංගම් කිහිපයක් විසින් අද (02) අළුයම සිට ආරම්භ කරන ලද බස් වැඩ වර්ජනය හේතුවෙන් දිවයින පුරා මගී ප්‍රවාහනය අඩාල වී ඇති බව වාර්තා වෙයි.

අන්තර් පළාත් පෞද්ගලික බස් සංගමය කියා සිටියේ පිලිගත හැකි විසඳුමක් ලැඛෙන තෙක් මෙම වැඩවර්ජනය අත්නොහරින බවයි.

ලංගම බස් රථ හා ඇතැම් පුද්ගලික බස් රථ වර්ජනයට සහභාගී නොවී සුපුරුදු පරිදි ධාවනයේ යෙදෙයි.

මේ හේතුවෙන් අද පෙරවරුවේ රාජකාරී කටයුතු සදහා යාමට බලාපොරොත්තුවෙන් බොහෝ පිරිස් මග දෙපස විශාල වශයෙන් රැදී සිටිති.

විසඳුම් ලැබුනා :

කෙසේ වෙතත් වැඩවර්ජනයක් සඳහා අවශ්‍යතාවක් නොමැති බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පැවසුවේය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ බස් සංගම් කිහිපයක නියෝජිතයින් අතර ඊයේ පස්වරුවේ ද සාකච්ඡාවක් පැවැත්වු බවත්, සිය ඉල්ලීම්වලට පිළිගත හැකි විසදුමක් එහි දී ලැබුණු බවත් ගැමුණු විජේරත්න මහතා වැඩිදුරටත් පැවසිය.

ත්‍රීරෝද රථ දෙලොවක් අතර :

මේ අතර ත්‍රීරෝද රථ සංගම් සමහරක් ද අද වැඩවර්ජනයක නිරත වේ. ජාතික ඒකාබද්ධ ත්‍රීරෝද රථ රියදුරන්ගේ සහ කර්මාන්තකරුවන්ගේ සමිතියේ ලේකම් රෝහණ පෙරේරා මහතා කියා සිටියේ පෙරවරුවේ උද්ඝෝෂණ රථ පෙලපාලියක් ද සංවිධාන කර ඇති බවයි.

කෙසේ වෙතත් ඇතැම් ත්‍රීරෝද රථ සංගම් මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට එක්ව නොමැත.

පාසල් වෑන් සුපුරුදු සේවයේ :

පාසල් සේවා වෑන් සහ බස් රථ ද ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට වැඩවර්ජනයක නිරත වන බව මීට පෙර ප්‍රකාශ වී තිබුණ ද
කිසිදු පාසල් සේවා වෑන් රථයක් හෝ බස් රථයක් වැඩ වර්ජනයට එක් නොවන බව සමස්ත ලංකා පාසල් ළමයින් ප්‍රවාහන සංගමයේ සභාපති මල්ශ්‍රී ද සිල්වා මහතා කියා සිටියේය.

මේ අතර මගීන්ට අපහසුතාවක් ඇති නොවන පරිදි පොදු ප්‍රවාහන සේවා පවත්වාගෙන යාමට කටයුතු කරන බව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය පවසයි.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top