Dec 03, 2016

ඔදියමලෙයි සමූහ ඝාතනය සැමරේ

දෙතිස් වසරකට ඉහතදී රජයේ ආරක්ෂක අංශ විසින් සමුල ඝාතනයට ලක් කොට මේ වනතුරුත් යුක්තිය ඉටු නොවූ නිරායුධ දෙමළ වැසියන් තිස් දෙදෙනකුගේ අනුස්මරණය මුලතිව් ඔදියමලෙයි ග්‍රාමයේදී සිදු කර තිබේ.

නිරායුධ දෙමළ වැසියන් 32 ක් මුලතිව් ඔදියමලෙයි ග්‍රාමීය සංවර්ධන ශාලාවට කැදවා වෙඩි තබා ඝාතනය කර ඇත්තේ 1984 දෙසැම්බර් 02දාය.

මෙම ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් රජයේ යුධ හමුදාවට චෝදනා එල්ලවී ඇත.

අනුස්මරණ අවස්ථාවට දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ති ශ්‍රී ස්කන්ධරාජා, උතුරු පලාත් සභාවේ උප සභාපති එස්. මහේෂ්වරන්, උතුරු පළාත් සභා මන්ත්‍රී තුරෙයිරාසා රවිහරන් සහ ප්‍රදේශවාසීන් කිහිප දෙනෙක් සහභාගි තිබේ.

ඝාතන මාලාවක්:

ඔදියමලෙයි ජන සංහාරය 1984 දෙසැම්බර් මුල සිට දෙසතියක් තුල මුලතිව්-ත්‍රිකුණාමලය දිස්ත්‍රික්ක මායිමේ පිහිටි දෙමළ ගම්මාන කිහිපයක් ගොදුරු කරගත් ඝාතන මාලාවකින් එකකි.

කෝකිලායි, තෙන්නමරවාඩි, අමරවයල්, කොක්කුතුඩුවායි, අලම්පිල්, නයාරු, කුමුලමුනෙයි සහ මනලාරු ප්‍රහාරයට ලක්වූ අනික් දෙමළ ගම්මානයි.

මේ ජනඝාතන වල අරමුණ වූයේ සිංහල ජනාවාසකරණය බව එවක පාර්ලිමේන්තුවේ සිටි ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණු මන්ත්‍රීවරු පෙන්වා දුන්හ.

තම මුල් ගම්බ්ම් අත්හැර යාමට බල කෙරුනු දෙමළ වැසියන් ආපසු පදිංචි කරවීමට හෝ සිදුවූ ඝාතන හා දේපල හානිය සම්බන්ධයෙන් තිස් දෙවසරක් ගතවීත් යුක්තිය ඉටුවී නැති බව ඔදියමලෙයි අනුස්මරණය ට සහභාගි වූ ප්‍රජා නායකයෝ පවසා ඇත.

ජානක පෙරේරා :

මේ සමූහ ඝාතන සමයේ ප්‍රදේශයේ සේනාංකාධිපති ලෙස අණ දුන්නේ පසුව මේජර් ජනරාල් පදවි ලද බ්‍රිගේඩියර් ජානක පෙරේරා බව අනුස්මරණ උත්සවයේදී ප්‍රකාශව තිබේ.

ප්‍රහාරයෙන් පසුව පිහිටුවන ලද එක් සිංහල ජනාවාසයක නම ජානකපුරයි.

උතුරු මැද මහ ඇමැති ධුරය සඳහා එක්සත් ජාතික පක්ෂයෙන් 2008 ඔක්තෝබරයේ පළාත් සභා මැතිවරණයේ තරග වැදුණු මේජර් ජනරාල් ජානක පෙරේරා අනුරාධපුර පැවැති එක්සත් ජාතික පක්ෂ මැතිවරණ රැළියකදී මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් මරුමුවට පත්විය.

(radiogagana)

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top