Jul 01, 2017

මරණ දඬුවම ලැබූවන්ගේ අවසාන ආහාර වේල් මෙන්න

මරණ දඬුවමට ලක් වුණු සිරකරුවෙකුගේ අවසාන ආහාර වේල’ යනු ඉතා කණගා‍ටුදායක චාරිත්‍රයකි.

මරණ දඬුවම ක්‍රියාත්මක ලංකාවද ඇතුළුව ඇතැම් රටවල මරණයට ලක්වන තැනැත්තාට සිය අවසාන ආහාර වේල ‍තෝරාගැනීමේ අවසරයක් ලබා දීමේ චාරිත්‍රයක් තිබේ.

තම ජීවිතයේ අවසාන තීරණය වන මෙම ආහාර වේල ‍තෝරාගැනීම කළ ආකාරය අනුව ඔහුගේ පෞරුෂය, තීරණ ගන්නා ආකාරය, ඔහුගේ පසුබිම අනුමාන කළ හැකි තරමටම මෙම ‍තෝරාගැනීම සුවිශේෂිය.

01 davislm
ඇලන් ලී ඩේවිස් නම් සිරකරුවකුගේ අවසාන ආහාර වේල

මෙම චාරිත්‍රය ක්‍රියාත්මක වන ආකාරය රටින් රටට වෙනස් වේ. ලංකාවේ දී මරණ දඬුවමට ලක්වන සිරකරුවෙකුට මත්පැන් ද ඇතුළුව තමාට අවැසි ඕනෑම ආහාරයක් තම අවසාන ආහාර වේල ලෙස ඉල්ලුම් කළ හැකිය.

ඇමරිකා එක්සත් ජනපදයේ දී නම් මරණ දඬුවමට ලක්වන දිනයේ නොව ඊට දිනකට හෝ දෙකකට පෙර මෙම භෝජනය ලබා දෙන්නේ එය 'අවසාන ආහාර වේල’ නොව 'විශේෂ ආහාර වේල’ ලෙස නම් කරමිනි.

යම් යම් සීමාවන්ට සහ මුදල් ප්‍රමාණයන්ට යටත්ව මෙම ආහාර ඉල්ලුම් කිරීමේ හැකියාව සිරකරුවාට තිබුණද මත්පැන් හෝ දුම්වැටි මෙලෙස ලබා දෙන්නේ නැත.

එසේම අවසාන දින කීපයේ ඉතාමත් බියෙන් පසුවන මෙම සිරකරුවන් බහුතරය මෙම ආහාර වේල ඇනවුම් නොකරනවා මෙන්ම, ඇනවුම් කරන්නවුන්ගෙන් ද එය අනුභව කරන්නේ ඉතාම සුළු ප්‍රතිශතයක් බව සඳහන් වේ.

2016 දී හෙන්රි හාග්‍රීව්ස් නම් ඡායාරූප ශිල්පියෙකු විසින් ඇමරිකා එක්සත් ජනපදය පුරාවටම මරණ දඬුවමට ලක්වුණු සිරකරුවන්ගේ අවසාන ආහාර වේල ප්‍රතිනිර්මාණය කොට ඡායාරූප ගත කර තිබේ.

මෙම බොහොමයක් සිරකරුවන් තම අවසාන ආහාර වේල ‍තෝරාගත් ආකාරය අනුව ඔවුන්ගේ බිය, ආශාවන් සහ තමාට පුරුදු පරිසරෙන් ඈත් වීමට සිදුවීම පිළිබඳව වන තනිකම පිළිබිඹු වන බව එමගින් අනුමානය කර තිබේ.

රොනී ලී ගාඩ්නර්

02 gardnerlm
ගාඩ්නර්ගේ අවසාන ආහාර වේල

49 හැවිරිදි මෙම සිරකරුවාට යූටා ප්‍රාන්තයේ දී මරණ දඬුවම ලබාදී තිබෙන්නේ ගෙවල් බිඳීම්, මංකොල්ලකෑම්, සහ ද්විත්ව මිනිස් ඝාතනයකට වැරදිකරු බවට පත් වූ නිසාය.

ඔහුගේ අවසන් ආහාර වේල පොකිරිස්සෙකුගේ වලිගයක්, මස් ස්ටේක්, ඇපල් පස්තෑල සහ වැනිලා අයිස් ක්‍රීම්ය. ඔහුගේ විශේෂ ඉල්ලීමක් වී තිබෙන්නේ Lord of the Rings චිත්‍රපට නරඹන අතරේ ආහාරය ගැනීමට අවසර ලබා දෙන ලෙසය.

තෙරේසා ලුවිස්

03 lewislm
ලුවිස්ගේ අවසාන ආහාර වේල

41 හැවිරිදි වර්ජිනියා ප්‍රාන්ත පුරවැසියෙකු වන මෙම කාන්තාවට මරණ දඬුවම ලබා දී තිබෙන්නේ මිනී මැරුම්, කුමන්ත්‍රණ කිරීම් සහ මංකොල්ලකෑම් සිදු කිරීමට වරදකරු වූ නිසාය.

බැදපු කුකුළු මස්, ග්‍රීන් පීස් සමඟ බටර්, ඇපල් පස්තෑල සහ Dr Pepper නම් පැණි බීම වර්ගය ඇගේ අවසන් ආහාර වේල වී තිබේ.

ෆර්ඩිනැන්ඩෝ නිකොලා සැකෝ සහ බාටොලමියෝ වැන්සෙටි

04 saccovanzettilm
සැකෝ සහ වැන්සෙටීගේ අවසාන ආහාර වේල

මැසචුසෙට්ස් ප්‍රාන්ත වැසියන් වූ මොවුන් ද්විත්ව පුද්ගල ඝාතනයකට වැරදිකරුවන් බවට පත්වී මරණයට පත්කරන විට ඔවුන් 36 සහ 39 වන වයස්වල පසු වී තිබේ. කෙසේ නමුත් ඔවුන්ගේ නඩු විභාගය සහ දඬුවම් ලබා දුන් ආකාරය අසාධාරණ බවත්, නඩුව නැවත විභාග කළ යුතු බවත් එකල මැසචුසෙට්ස් ආණ්ඩුකාරවරයා ප්‍රකාශයක් නිකුත් කර ඇති බවද වාර්තා වේ.

ඔවුන්ගේ අවසාන භෝජනය වූයේ සුප්, මස්, කර කළ පාන් සහ තේය.

ස්ටීවන් ඇන්ඩර්සන්

05 andersonlm
ඇන්ඩර්සන්ගේ අවසාන ආහාර වේල

මෙම 49 හැවිරිදි කැලිෆෝනියානුවාට මරණ දඬුවම ලබාදී ඇත්තේ ගෙවල් බිඳීම, අඩත්තේට්ටම් කිරීම, බන්ධනාගාරයෙන් පැන යෑම සහ පුද්ගලයින් සත්දෙනෙකු ඝාතනය කිරීම හේතුවෙනි.

ඔහුගේ අවසාන ආහාර වේල ලෙස ග්‍රිල් කළ චීස් සැන්විච් දෙකක්, කොටේජ් චීස් පයින්ට් එකක්, ඉරිඟු ඇට – හොමිනි (ඉරිඟු මදය අඹරා සාදන ආහාරයක්) මිශ්‍රණයක්, පීච් පස්තෑල, රාබු සහ චොකලට් චිප් අයිස් ක්‍රීම් ලබාගෙන තිබේ.

ජෝන් වේන් ගේසි

06 gacylm
ගේසිගේ අවසාන ආහාර වේල

KFC ආයතනයේ කළමණාකරුවෙකු වූ 52 හැවිරිදි මේ ඉලිනෝයි ප්‍රාන්ත පුරවැසියාට මරණ දඬුවම නියම කෙරුණේ ස්ත්‍රීන්ට ලිංගික අතවර කිරීම හා 33දෙනෙකු ඝාතනය කිරීමට වරදකරු වීම හේතුවෙනි.

අවසාන ආහාර වේල ලෙස ඔහු විසින් ඉල්ලුම් කර ඇත්තේ බැදපු ඉස්සන් 12ක්, KFC බැදපු කුකුළු මස් බකට් එකක්, බැදපු අල පෙති සහ ස්ට්‍රෝබෙරි ගෙඩි අවුන්සයකි.

රොනී ත්‍රෙඩ්ගිල්

07 threadgilllm
ත්‍රෙඩ්ගිල්ගේ අවසාන ආහාර වේල

මෙම 40 හැවිරිදි ටෙක්සාස් වැසියාට මරණ දඬුවම හිමි වී ඇත්තේ මිනීමැරීමේ චෝදනාවකට වරදකරු බවට ඔප්පු වීම හේතුවෙනි.

ඔහුගේ අවසාන ආහාර වේල ලෙස ඔහු විසින් ඉල්ලුම් කළ බේක් කළ කුකුළු මස්, හොදි සමඟ තම්බා පොඩි කළ අල, එළවළුල ස්වීට් පීස්, පාන්, ජලය, තේ සහ පන්ච් පානය ඔහු වෙත ලබා නොදී ඇත්තේ ටෙක්සාස් ප්‍රාන්තය ඒ වන විට අවසාන ආහාරය සම්බන්ධ නීති අහෝසි කර තිබූ නිසාය. ඒ නිසා අනෙක් සිරකරුවන්ට ලබා දෙන සාමාන්‍ය ආහාරයම ඔහුටත් ලබා දී ඇති බව සඳහන් වේ.

වික්ටර් ෆෙගෙර්

08 feguerlm
ෆෙගෙර්ගේ අවසාන ආහාර වේල

මොහු පැහැරගැනීම් සහ ඝාතනය කිරීමකට වැරදිකරු වූ 28 හැවිරිදි අයෝවා ප්‍රාන්ත වැසියෙකි.

තම අවසාන ආහාර වේල ලෙස ඇටයත් සමඟ එක් ඔලිව් ගෙඩියක් මොහු විසින් ආහාරයට ගෙන තිබේ. තමා මළ පසු ඔලිව් ඇටය ගසක් බවට වැඩී තමා සාමයේ සංඛේතයක් ලෙස සලකනු ඇතැයි ඔහු දිගින් දිගටම විශ්වාස කළ බව සඳහන් වේ.

ටෙඩ් බන්ඩි

09 bundylm
බන්ඩිගේ අවසාන ආහාර වේල

පුද්ගලයින් (බොහෝවිටම කාන්තාවන්) 35කට වඩා අධික සංඛ්‍යාවක් ඝාතනය කළ කුප්‍රකට මිනීමරුවෙකු, ස්ත්‍රී දූෂකයෙකු, ශවකාමිකයෙකු වූ ෆ්ලොරිඩා ප්‍රාන්ත වැසියෙකු වූ මොහු 43 හැවිරිදි වියේ සිටියදී මරණ දඬුවමට යටත් වුණු අයෙකි. කිසිම විශේෂ ආහාර වේලක් ඉල්ලා නොසිටි නිසා, සාම්ප්‍රදායික අවසාන ආහාර වේල ඔහුට ලබා දී ඇත.

එම ආහාර වේල හරක් මස් ස්ටේක්, බැදපු බිත්තර, අර්තාපල් හෑශ් බ්‍රව්න්, බටර් සහ ජෙලි සමඟ කර කළ පාන්, කිරි සහ පළතුරු යුෂ වලින් සමන්විතය.

රිකී රේ රෙක්ටර්

10 rectorlm
රෙක්ටර්ගේ අවසාන ආහාර වේල

මෙම 42හැවිරිදි ආකැන්සස් ප්‍රාන්ත වැසියා ද්විත්ව මිනීමැරුමකට වැරදිකරු බවට ඔප්පු වූ නිසා මරණීය දණ්ඩණය ලබා දී තිබේ.

මස් ස්ටේක්, බැදපු කුකුළු මස්, චෙරි රසැති Kool-Aid සිසිල් පානය සහ පෙකන් පස්තෑල තම අවසාන ආහාර වේල ලෙස ඉල්ලුම් කළද, අවසානයේ පෙකන් පස්තෑල කැබැල්ල ඔහු විසින් ඉතුරු කර ඇත්තේ එය වෙනත් වේලාවක කෑමට ඉතුරු කරන බව පවසමින් බව සඳහන් වේ.

ටිමති මැක්වේ

11 mcveighlm
මැක්වේගේ අවසාන ආහාර වේල

33හැවිරිදි වියේ පසු වූ ඉන්ඩියානා ප්‍රාන්ත වැසියෙකු වූ මැක්වේ මරණ දඬුවමට ලක්කර ඇත්තේ පුද්ගලයින් 168 දෙනෙකු ඝාතනය කිරීම හේතුවෙනි.

තම අවසන් ආහාර වේල ලෙස ඔහු විසින් මින්ට් සහ චොකලට් චිප් අයිස් ක්‍රීම් පයින්ට් දෙකක් ආහාරයට ගනු ලැබ තිබේ.

කෙසේ වුවද මෙම 'අවසාන ආහාර වේලක්’ ලබාදීමේ චාරිත්‍රයේ අරමුණ වන්නේ මරණ දඬුවම නියම වූ තැනැත්තාට සහනයක් ලබා දීමට වඩා සමාජයට ඔහු පිළිබඳව කම්පනයක්, අනුකම්පාවක් ඇති කිරීම බව සඳහන් වේ.

අමන්දා අබේසූරිය

ඡායාරූප: Henry Hargreaves

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top