Sep 14, 2017

Singer Fashion Show 2017 විලාසිතා දස්කම්

Singer Fashion Show සහ සම්මාන උළෙල   2017  පසුගියදා කොළඹ බිෂොප් විද්‍යාලයීය ශ්‍රවණාගාරයේදී උත්කර්ෂවත් ලෙස පැවැත්විණ. මෙම සම්මාන උළෙලේදී සිංගර් ෆැෂන් ඇකඩමියේ සිසු සිසුවියන්ගේ නිර්මාණ ඇගයීමට පාත්‍ර විය.

මෙම සිසු සිසුවියන් සිංගර් ෆැෂන් ඇකඩමියේ පාඨමාලා හදාරමින් සිටින අතරතුරදීම  සිය නිර්මාණ ඉදිරිපත් කරමින් සම්මාන දිනාගැනීමට අවස්ථාව හිමිකර ගැනීම මෙහිදී දක්නට ලැබුණ විශේෂත්වයකි.

සිංගර් ෆැෂන් ඇකඩමිය විසින් වාර්ෂිකව සංවිධානය කරන මෙම සම්මාන උළෙල සහ විලාසිතා දැක්මේ දී එහි අධ්‍යාපනය හාදාරන සිසු සිසුවියන්ට සිය දක්ෂතා හා කුසලතා මතුකර දැක්වීමට අවස්ථාව හිමිවෙයි. විශාල ප්‍රේක්ෂක පිරිසක් ඉදිරියේ සිය නිර්මාණ ඉදිරිපත් කිරීමට මෙම සිසු සිසුවියන්ට මෙහිදී අවස්ථාව සැලසෙයි. මේ යටතේ මෙම සිසු සිසුවියන්ට සිය නිර්මාණ ඉදිරිපත් කිරීම සඳහා අවස්ථාව උදාවීම  පමණක් නොව මහා පරිමාණයේ විවිධ ව්‍යාපාර අවස්ථා උදාකරගැනීම සඳහා වන ආත්ම විශ්වාසය ද  හිමිවෙයි.

මෙම අවස්ථාවට සමගාමීව  උඩරට විලාසිතා, සැහැල්ලු ඇදුම් විලාසිතා, කාර්යාලයීය විලාසිතා, ළමා ඇඳුම්, ක්‍රීඩා ඇඳුම් ,සැඳෑ විලාසිතා, ඉන්දීය විලාසිතා ආදි  වශයෙන් විලාසිතා අංග  7ක් යටතේ   විලාසිතා දැක්මක්  පැවැත්විණ. එම විලාසිතා අංග යටතේ ඉදිරිපත් කර තිබූ නිර්මාණ අතුරින් පළමු ස්ථානය, දෙවන ස්ථානය සහ තෙවන ස්ථානය   ආදී වශයෙන්  ජයග්‍රාහකයින් තෝරා ඔවුන් වෙත සම්මාන පිරිනැමීම ද මෙහිදී සිදුකෙරිණ. තවද ප්‍රධානතම පාඨමාලා දෙක වන විද්‍යානුකූල ඇඳුම් මැසීම සහ මැෂින් එම්බ්‍රොයිඩරි පිළිබඳ ඩිප්ලෝමාවන් සාර්ථකව නිම කළ  සිසු සිසුවියන් වෙත  සහතික පත් පිරිනැමීම ද මෙහි ප්‍රදාන අංගයක් විය.

ඉහත සඳහන් කර ඇති ඩිප්ලෝමා පාඨමාලා නිමකළ සමස්ථ ලංකා  ජයග්‍රාහකයින් තෝරා ගැනීමක්ද සිදු වූ අතර ඔවුන් වෙත  සහතික පත්‍ර සහ වටිනා ත්‍යාග පිරිනැමීමක් සිදු කෙරිණ. මෙහිදී සිංගර් විලාසිතා දැක්මට සිය නිර්මාණ ඉදිරිපත් කළ සෑම සිසු සිසුවියකටම සහතික පත්‍රයක් හිමිවීම විශේෂත්වයකි. තවද විලාසිතා දැක්මෙහි එක් එක් අංශයන්හි ජයග්‍රාහකයින් සහ ඩිප්ලෝමා පාඨමාලාව අවසානයේ පැවැති විභාගයේදී සමස්ථ ලංකා මට්ටමින් වැඩිම ලකුණු ලබාගත්  සිසු සිසුවියන්ට වටිනා සිංගර් මහන මැෂින් ත්‍යාග වශයෙන් පිරිනැමිණ.

මෙම අවස්ථාවේදී අදහස් දැක්වූ සිංගර් ශ්‍රී ලංකා සමූහ ප්‍රධාන විධායක නිලධාරි  අසෝක පීරිස් මහතා  කියා සිටියේ  සිංගර් ෆැෂන් ඇඩකමිය විසින්  සිසු සිසුවියන්ගේ දක්ෂතා හා කුසලතා ප්‍රදර්ශණය කිරීම සඳහා  මෙවර සිංගර් විලාසිතාදැක්ම සංවිධානය කළ බවයි.  හුදෙක් ඇඳුම් මැසීම පිළිබඳව ඉගැන්වීම සදහා පමණක් සීමා නොවී   සිය සිසු සිසුවියන් වෙත දැනුම  සම්පාදනය කරමින්  ඔවුන් නිර්මාණශිලීත්වය වර්ධනය  කරලීම සඳහා   සිංගර් ෆැෂන් ඇකඩමිය කටයුතු කර ඇති බවද හෙතෙම මෙහිදී සඳහන් කළේය. මෙම සිසු සිසුවියන්  ඉදිරියේදී මෙරට විලාසිතා නිර්මාණය කරන ව්‍යවසායකයින් බවට පත්වනු ඇතැයි මෙතෙක් ලබා ඇති අත්දැකීම් අනුව ප්‍රකාශ කළ හැකි බව ද  අසෝක පීරිස් මහතා මෙහිදී පෙන්වා දුන්නේය.

දිවයින පුරා පිහිටි සිංගර් ප්ලස් ප්‍රදර්ශණාගාර වලට අනුබද්ධිතව පිහිටුවන ලද  සිංගර් ෆැෂන් ඇකඩමි 70 කට අධික සංඛ්‍යාවක් කේන්ද්‍ර කර ගනිමින්   සිසු සිසුවියන්ට පහසුවෙන් ළගා විය හැකි නගර  වලදී සිය නිර්මාණාත්මක කුසලතාවන් වර්ධනය කරගැනීමට මෙහිදී අවස්ථාව හිමිවෙයි. වඩා ආරක්ෂාකාරී වටපිටාවකදී සිය අධ්‍යයන කටයුතු නිමා කරලීම සඳහා  සිසු සිසුවියන්ට  අවස්ථාව හිමිවන අතර මෙහිදී  ප්‍රායෝගික හැදෑරීම් රැසකට සම්බන්ධ වීමට සිසු සිසුවියන්ට  අවස්ථාව හිමිවූ අතර එහිදී  ඇඳුම් නිර්මාණය සහ ඇඳුම් මැසීම පිළබඳව  සියලු අංශ සහ විවිධ මැහුම් අත්කම් ක්‍රම ද හැදෑරීමට අවස්ථාව හිමිවෙයි. සිංගර් ෆැෂන් ඇකඩමිය තවත් සිසු සිසුවියන් පිරිසකට සිය නිර්මාණාත්මක කුසලතා වර්ධනය කර ගැනීමට අවස්ථාව උදාකර දෙමින් පසුගියදා සිය ශාඛා ජාලය වරකාපොළ,ගල්කිස්ස, පිළිමතලාව සහ රුවන් වැල්ල යන නගර කරා ව්‍යාප්ත කරන ලදී.
OP1C0681

OP1C0689

OP1C0701

OP1C0706

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top