Oct 03, 2017

රිටේ හිටගන්න හිතේ හයිය ඕන

පුරාතන ශ්‍රී ලංකාවේ කරදිය ධීවර කර්මාන්තය බහුලව සිදු නොවීය. ඊට හේතුව මුහුදෙන් ඇල්ලූ මසුන් ගොඩබිමට නරක් නොවී ගෙන යාමට ක්‍රමයක් නොමැති වීමයි. මුහුදුබඩ විසූ ජනයා
මුහුදු මසුන් අල්ලා එදිනෙදා පරි‍භෝජනය කළහ. පැරණි ධීවර කර්මාන්තය ප්‍රධාන වශයෙන්ම ගංගා, ඇළ, දොළ, අමුණු, වැව් සහ පොකුණු ආශ්‍රිත මිරිදිය මසුන් ඇල්ලීමට සීමා වී තිබුණි.

පුරාතනයේ මසුන් ඇල්ලීමට භාවිතා කළ ආමිපන්න සහ ක්‍රම රාශියක් තිබිණි. එනම් බිලී බෑම ,ජාල දැල් දැමීම, කුමන කෙමන,.කරක කරක් ගෙඩිය, මදන ඵල මසුන් මත් කිරීමට
ජලාශවලට තලා දමන ගෙඩි වර්ගයක් (කුකුරුමාන්) වල් ඉසීම කුඩා ජලාශ හිස්කර මාළු ඇල්ලීම,මස් කෙටීම, දියේ පීනන මසුන්ට කඩුවෙන් කොටා අල්ලා ගැනීම, ආදි වශයෙනි.

දැන් මාළු අල්ලනනේ වෙනස් විදියට

ශ්‍රී ලංකාවේ වර්තමාන ධීවර කර්මාන්තය කොරල්පර සහ ගල්පර ආදිය ඇතුලත් මහද්වීප තටාකය(continental shels) ඇතුළත සහ වෙරළෙන් ඔබ්බෙහි ගැඹුරු මුහුදේ සිදු කෙරේ.

මෙයින් මහද්වීප තටාකයේ මත්ස්‍ය කර්මාන්තයෙන් විවිධ ගල් මාළු(rock fish) වර්ග සහ ගල්පර ආශ්‍රිත ජීවත් වන කකුළුවා, ඉස්සා, පොකිරිස්සා, ආදී කවච මත්ස්‍යයන් සහ හුරුල්ලා,
 සාලයා, කුම්බලාවා, කාරල්ලා,පරවා, සුරාපරවා ආදී මසුන් අල්ලා ගනු ලැබේ. කරදිය මත්ස්‍ය කර්මාන්තයෙන් විශාල ‍කොටසකට දායක වන මේ මත්ස්‍ය අස්වැන්න මුළුමනින්ම වාගේ සාමාන්‍ය ජනයාගේ දෛනික පරිභෝජනයට ගනු ලැබේ. මෙම මාළු බිම්වල මසුන් ඇල්ලීමට බිලිපිති, දැල්, සහ අතංගු භාවිතා කෙරේ.

නොගැඹුරු මුහුදේ සිටුවන ලද රිටිමත හිඳගෙන බිලී පිත්තෙන් මසුන් ඇල්ලීම මෙම කර්මාන්තයේ විශේෂ අංගයකි. "රිටිපන්නය" නම් එම ක්‍රමය දකුණු පළාතේ තැන් තැන්හි භාවිතා වෙයි.එය වැලිගම දේනුවල අහංගම ,කතළුව, මිරිස්ස කොග්ගල , තල්පේ, හබරාදුව, අහංගම අහංගම් කන්ද  ගොවියාපාන ආදි  ප්‍රදේශවලට පමණක් සීමා වී  ඇත.

ටෝලර් සහ යාන්ත්‍රික ‍බෝට්ටුවලින් ඈත මුහුදට ගොස් කරන ගැඹුරු මුහුදේ මසුන් ඇල්ලීම සදහා දැල්, යොත් සහ කරමල් දැල් භාවිතා වෙයි. කෙලවල්ලා, බලයා ආදී කෙලවලු කුලයට
(thunidae) අයත් මසුන් සහ තෝරා, මෝරා, කොප්පරා සහ තලපත් ආදී විශාල මත්ස්‍යයින් ඇල්ලීමේ යෙදෙන යාත්‍රා "බහුදින යාත්‍රා" නමින් හැදින්වේ.එම යාත්‍රා දින සති ගණන් එකදිගට
 මුහුදේ ධීවර කටයුතුවල යෙදේ. මේ ලොකු මසුන්ගෙන් කොටසක් සාමාන්‍ය පාරිභෝගිකයන් අතරටත් විශාල කොටසක් ලොකු හෝටල් සහ අවන්හල්වලටත් යන අතර අපනයනය සඳහා
 සකසන මාංශ ආහාර නිෂ්පාදනයට ද තවත් සුඵ කොටසක් යොදා ගනී. මෑතක සිට කටුමෝරු නම් කුඩා මෝර වර්ගය අල්ලා උන්ගේ අක්මාවෙන් තෙල් ගැනීම සිදු කෙරේ. මෙම සුද්ද නොකළ මෝර තෙල් අපනයනය සදහා නිපදවන්නකි.

ශ්‍රි ලංකාවේ ධීවර යාත්‍රා සැහැල්ලු තනි ඔරු, කොල්ලෑව සහිත රුවල් ඔරු, යාන්ත්‍රික නොවූ ෆයිබර්ග්ලාස් බෝට්ටු, කොල්ලෑව සහිත පදින ඔරු, වල්ලම්, තෙප්පම්, කට්ටුමරන්, පහුරු, යාන්ත්‍රික වූ විශාල ධීවර බෝට්ටු, බහුදින ට්‍රෝලර් යාත්‍රා(multiday trawlers) සහ පිටත ඇති ෆයිබර්ග්ලාස් බෝටිටු(out board motor boats) වේ.

ශ්‍රී ලංකාවේ ධීවර වරාය අතරේ ගත් කළ,හලාවත, මීගමුව, මෝදර(කොළඹ), හික්කඩුව, අම්බලන්ගොඩ, කල්පිටිය, බේරුවල, ගාල්ල, මිරිස්ස, තංගල්ල, කිරින්ද, කල්කුඩා(මඩකලපුව),
මයිලිඩ්ඩි(පේදුරුතුඩුව), ත්‍රිකුණාමලය නම් කළ හැකිය.

වර්තමාන ධීවර කර්මාන්තයේ භාවිත කරන නව තාක්ෂණය අතර අද ටබ් භාවිතය දක්වා අපේ ධීවරයෝ දියුණු වී ඇත.ප්‍රතිධ්වනි මානය (echo sounder) මුහුදේ මාළු සහ මාළු අයින්
(shoals) සිටින ස්ථාන නිශ්චිතව දැන ගැනීමට උපකාරී වේ. මෙය වර්තමානයේ ධීවර යාත්‍රාවල භාවිත වේ.

සෝනාර් (sonar) නම්  උපකරණයෙන් මුහුද යට ඇති ගල්පර සහ ගිලීගිය නැව් ආදී ධීවර යාත්‍රාවලට හානි සිදුකළ හැකි දේ ඇති තැන් ගැනත්, මාළු අහින් සහ මුහුදේ ගැඹුර
පිළිබඳවත් දැන ගැනීමට හැකිය.

රේඩියෝ මෙවලම් මේවා ඔස්සේ ගොඩබිම සමඟත් ඈත මුහුදේ තිබෙන ධීවර යත්‍රා එකිනෙක අතරත් සම්බන්ධතා පවත්වා ගත හැකිය. ධීවර යත්‍රා ආපදාවකට මුහුණ පෑ විට ඉන් මිදීමට
මෙම මෙවලම් ඉතාමත් ප්‍රයෝජනවත් වේ.

අහස බලලා මුහුදෙ යන්නේ

කාලගුණ දෙපාර්තමේන්තුවේ සහාය ද ලබාගෙන මේ කටයුතු සිදු කරයි.කාලගුණ දෙපාර්තමේන්තුව ඉන්දියානු චන්ද්‍රිකා මඟින් වැස්ස, කුණාටු සහ සැඬසුළං ආදිය ගැන රේඩියෝ මෙවලම් මගින් ධීවරයන්ට කල්තියා තොරතුරු ලබා දේ. එමඟින් කල්තියා සූදානම් විය හැකිය. එසේම ආයාසයකින් තොරව මසුන් අල්ලා ගනු පිණිස සාගර ජලයේ උෂ්ණත්වය, මුහුදේ සුළං හැමීම,දියවැල් ගැලීම, උදම් රළ(tidal waves) නැගීම, කුණාටු හට ගැනීම, මාළු අහින් එක්රොක් වී සිටින තැන් සහ උන්පීනා යන දිශාව ආදිය නිවැරදිව දැන ගැනීමට දියුණු රටවල්
NOAA / AVHRR , TERRA / MODIS , IRSIC / NIFS R ආදී චන්ද්‍රිකා වලින් ලැබෙන තොරතුරු භාවිතා කරයි.

රිටි පන්නය අමුතුම පන්න ක්‍රමයක්

fisherman1කිසිදු රටකට නොදවෙනි වු අපටම කියා අපේම කියා ධීවර පන්න ක්‍රමයක් අපට තිබේ. එය රිටි පන්යයි.මෙය ජපානය ඉන්දියාව හෝ කිසිම රටක නැති අපේම තාක්ෂණය සහිත හොරාගත නොහැකි අමුතුම පන්නකුමයකි.

ලංකාවේ දකුණු ප්‍රදේශයට ගමන් කරන සංචාරකයෙකුට හමුවන සම්ප්‍රධායීක කර්මාන්ත අතර රිටි පන්න ධීවර කාර්මාන්තය නෙතට රසදුනක් වන් කාර්මාන්තයකි.

නොගැඹුරු නිල්වන් කරදිය මත සිරස් අතට නැගුන අඩි 8 ක් හෝ 10 ක් පමණ වන ලීයක් මත තිරස් අතට බඳින ලද  ලීයක් උඩ හිදගත් බීලීපිත්තක් අතැති මිනිසා ක්ෂිතිජය මත ඇදුන සිත්තමක් සේ පෙනෙන විට බොහෝ සංචාරකයන්ට එම දර්ශණය මගහැර වෙනතක යාම බොහෝ අසීරු කාරණයකි. දකුණු මුහුදු තිරයේ අම්බලන්ගොඩ, මිරිස්ස, පොල්හේන ආදී වෙරළ තීරයන්හි දැකිය හැකි මෙම දර්ශනය බහුලය.

රිටි පන්න ධීවර කාර්මාන්තය මේ ආකාරයට බොහෝ දෙනෙක් මෙය නැරඹුවත් එම කාර්මාන්ත කරුවන් මෙය කරන්නේ සංචාරකයින්ගේ සිත් සතුටු කිරීමට නම් නොවේ.

උදේ පාන්දර එක් අතකින් ගත් බීලී පිත්ත සහ අනෙකුත් ධීවර ආම්පන්නද අනෙක් අතින් මාළුන් රැගෙන ඒමට ගන්නා මල්ලක්ද ගෙන සීතල කරදියේ කරවටක් ගමන් කර තමන්ගේ
රිට මතට නැගගත් ධීවරයා භාවනාවකට සමවැදී යෝගියෙකු ඒයටම සිත යොමු කරන්නාක් මෙන් සසල වන ජල තලය දෙස නිසලව බලා හිදිමින් තම කාර්මාන්තය ආරඹයි.
මොවුන් උදෑසන 10 පමණ වන තෙක් මේ ආකාරයට කාර්මාන්තයේ නිරත වන්නේය.

ධීවර පුතාගේ රැකියාවත් ස්ථීරයි

පියා කර්මාන්තය කිරීමට රිටි මතට නැගෙනුයේ නම් බිරිද සහ දරුවන් අනෙකුත් උදවු උපකාර ඔහුට කරන්නේය. වයස අවුරුදු 18 – 20 වන විට රිටක් මතට නැගීමට පියාගේ ඇවෑමෙන් මේ දරුවන්ටද සිදුවේ. ඔවුන්ගේ රැකියාවේ ස්ථීර භාවය එයයි.fisherman2

බොහෝ තරුණයන් කවට කතා කියමින් නොයෙක් රැකියා වල නිරත වෙද්දී අපේ සමහර තරුණ පිරිස් රිටක් මත හිද ගොලූවත රකිමින් රැකියාව කරන අතරතුර බොහෝ දේවල් ඔහුගේ මතකයට එයි. තමන්ගේ වයසේ තරුණයන් සුන්දර පොල්හේන වෙරළේ සතුටු වෙද්දී තමන් ගොලූවත රකිමින් හුදකාලාව මේ රැකියාව කරන්නේ ජීවත් වන්නට මුදල් අත්‍යාවශ්‍ය නිසාම නොව මෙය පවුලෙන් තමන්ට ලැබුනු දායාදයක් නිසාමය.

බොහෝ ධීවර තරුණයන්ට මේ කර්මාන්තය කරදරයක්ව ඇත . උදෑසන 5 සිට 10 වන තෙක් එකම ඉරියව්වකින් සිටින ඔවුන් පසුව අල්ලා ගත් මාළු විකුණයි. අනතුරුව නැවතත් ඔහු සවස 4 ට පමණ රිටි මත නඟයි.
 
කොරඹුරු මාළු සහ බොල්ලෝ මාළු රිටිපන්නයේදී බහුලව දැකිය හැකිය. මේ අතරින් බොල්ලෝ මාළු හසුවන දවසට අතමිට සරුය.

රිටි පන්නයේ යෙදෙන එක් තරුණයෙක් කියන්නේ,

"අපි සාමන්‍යයෙන් රුපියල් සියට බොල්ලෝ හතර දෙනෙක් විතර දෙනවා ඒ වුනාට මිනිස්සු කියන්නේ ඒකත් ගාන වැඩියි කියාලා. දැන් පොල් ගෙඩියක් රුපියල් 100ක් හාල්  කිලෝවක්
අනුවක් මිරිස් තුනපහේ ගත්තාම හම්බ කරන සොච්චම  මක්කැයි කියලා හිතෙනවා. මක්ක කරන්න ද අපි ඉතිං මාඵ අල්ලලා මාඵ විකුණනවා.පොල් සම්බල් එක්ක මාළු නැතිව බත් කටක්
 දෙසා බානවා විතරයි කරන්නේ. ඒ අදට විතරයි. හෙට කන්න ඕන නම් ආයෙත් මුහුදු යනවා".

දුප්පත් තමයි මුහුදක අප තනි කෙරුවේ

ලස්සන නිවසක ජීවත් වීම ඔවුනට හීනයක්. ඒ කාලේ වගේ නෙවෙයි  දැන් ප්‍රශ්න ගොඩයි. මීට වසර ගණනාවකට පෙර තිබූ තත්ත්වයට වඩා සමාජය කරන කටයුතු ඔවුන්ගේ රැකියාවට
තදින්ම බලපා තිබේ. විශේෂයෙන්ම දකුණු පළාතේ සංචාරකයන් බහුල ස්ථානවල ඔවුන් මේ ගැටළුවට තදින් මුහුණ දීමට සිදුව තිබේ.

 මුහුද ජනතාවගේය. වෙරළද ජනතාවගේය. නමුත් සංචාරක ව්‍යාපාරය මුවාවෙන් මුහුදු වෙරළ මුදලට ගන්නා වු පිරිස් කොන්ක්‍රිට් ප්‍රාසාද සකසා ධීවරයාගේ රටේ ජනතාවගේ මුහුදු වෙරළට වැට ගසා ඇති නිසා සංචාරක කර්මාන්තය ද ධීවර කර්මාන්තද සිදුකරගත නොහැකිව තිබේ.

සංචාරක කර්මාන්තයයි රිටිපන්නයයි එකට කරන්න බෑ

මෙම කර්මාන්තයේ ද යම් සාම්ප්‍රදායික ක්‍රම උපක්‍රම භාෂාවන් ද ගති ලක්ෂණ ද දැකිය හැකිය. සමාජ විද්‍යාමකම හා පරිසරය අනුවද එය ගණනය කළ හැකිය.  රිට මතට නැග්ග විට
සම්ප්‍රදායක් ලෙස කිසිවක් කතා නොකරති. එයට හේතුව කටහඬට බිය වී මසුන් ඉවතට යාම සිදු වේ යයි විශ්වාස කරන බැවිනි. නමුත් වෙරළ තීරයේ සංචාරකයින් දිය ක්‍රීඩා කිරීමට යොදා ගන්නේ ධීවරයන් නැති රිටි අම්පන්නයි. මෙවිට මසුන් බිය වී ඉවතට යන බව ධීවරයෝ පවසයි. නාන අය මෙතැන්ට අවිල්ල දඟලන කොට මාළු කිට්ටුවටවත් එන්නේ නැ.

බොතල් ගහනවා. බොතල් මුහුදටම දමනවා අපි මුහුදට ගියාම අපේ කකුල් කැපෙනවා.මෙන්න අපේ ලංකාවේ මිනිසුන් තවත් මිනිසුන් පිරිසකට කරන අරියාදුව.ඒ නිසාම ඔවුන්ගේ
 ආර්ථීකයටද එය බරලතල හානියක් වී තිබේ. ඒසේම සංචාරකයින් වැඩි වශයෙන් පැමිණෙන සෙනසුරාදා මෙම හානියද උපරිමය.

ජපනට වඩා අපි හපන්

රිටි පන්නය හා බැදුණු විස්මිත තාක්ෂණය සත්තකින්ම අපටම ආවේනික වුවකි.ජපනා හපනාය යන්න ලොව ප්‍රකට කියමනකි. රිටිපන්න බිලී කටුවේ තාක්‍ෂණය සොයා ගැනීම සඳහා ජපනා වෑයම් කළේ වරක්‌ දෙවරක්‌ නොවේ. විටෙක බිලීකටු සාදන ආකාරය ඡායාරූප ගත කළහ. තවත් වරෙක එය වීඩියෝ ගත කෙරිණි. මේ සියල්ල අරගෙන ජපන්නු සිය රටට ගියෝය. බිලීකටු හදාගෙනවිත් රිටිපන්නයට යා කළහ.

නමුත්,ජපනා හැදූ රිටි පන්නයට එක කොරබුරුවකු, බෙල්ලෙකු, කූණිස්‌සෙකු අල්ලා ගැනීමට නොහැකි විය. ජපන්නු පමණක්‌ නොව චීන්නු මෙන්ම විදේශීය රටවලින් පැමිණි බොහෝ
සංචාරකයෝද ගවේෂකයෝද ව්‍යාපාරිකයෝද මෙම රිටිපන්න බිලීකටුවේ තාක්‍ෂණය සොයා ගැනීම සඳහා දැඩි වෙහෙසක්‌ ගත්හ.

එමෙන්ම අපේ රටේ ජාන සම්පත් සොරකමේ යෙදුණු බහුජාතික බූවල්ලන්ටද මෙකී තාක්‍ෂණය සොරා ගැනීමට නොහැකි විය. තවමත් දකුණේ ශූර වීර ධීවරයෝ මෙම පාරම්පාරික
තාක්‍ෂණික ඥණය රැක ගනිමින් එය තම පරපුරෙන් පරපුරට ලබාදෙති. අප මේ කියන්නට යන්නේ අපේ ධීවරයන්ටම පමණක්‌ උරුම වූ රිටිපන්න බිලීකටුවේ තාක්‍ෂණය ගැනය. නැතහොත්
ඇමක්‌ නැතිව බිලීබාන රිටිපන්න බිලීකටුව ගැනය.

රිටිපන්න ධීවර කර්මාන්තය දකුණේ ධීවර කාර්මිකයින්ටම පමණක්‌ ආවේණික වූ කර්මාන්තයකි. නොගැඹුරු මුහුදේ හිටවනු ලැබූ රිටක්‌ මත සිට මසුන් ඇල්ලීම සැබවින්ම ඉතා මනස්‌කාන්ත දර්ශනයකි. මෙය රිටිපන්න ධීවර කාර්මිකයාගේ කුසලතාවය විදහා දක්‌වන්නකි. රිටිපන්න කර්මාන්තයේ වසන්ත කාලය මැයි මාසයේ සිට දෙසැම්බර් දක්‌වාය.

රිට හදාගන්නේ මෙහෙමයි

මෙකී පන්න ක්‍රමයට ඇත්තේ දිගු ඉතිහාසයකි. මෙම පන්න ක්‍රමය වටා ගෙතී ඇති අතීත කතාන්දරයද ඉතා සුන්දරය. මෙකී කර්මාන්තය සඳහා සවිමත් රිටක්‌ එයට ගැට ගසන ලණුවක්‌ හා ලණුව කොනට ගැටගසන කටුවක්‌ අවශ්‍යය.

පාරම්පරික රිටිපන්න ධීවර කාර්මිකයකු වන සිරිල් ද සිවා මහතා රිටි කතාවේ අතීතය ගැන කියා දෙමින්

"අතීතයේ සුලුප්පුවලින් පැමිණි ධීවර කාර්මිකයින් තමයි මේ කර්මාන්තය හඳුන්වලා දීලා තියෙන්නේ. ගන්දර හිටපු රාළහාමි කෙනෙක්‌ මෙම තාක්‍ෂණය මෙම පන්න ක්‍රමයේ තාක්‍ෂණය
 ඔවුන්ගෙන් අහගෙන තිබෙන බවත් කියනවා. ඇත්තටම ඇමක්‌ නැතිව බිලීබාන මෙම බිලීකටුව ලෝකයේ නවීන තාක්‍ෂණයෙන් දියුණු ජපානය, චීනය, කොරියාව වැනි රටවලටත් තවමත්
නිපදවා ගැනීමට බැරිවෙලා තියෙනවා".

මෙකී ඊයම් බිලීකටුව සාදවා ගැනීම සඳහා අච්චුවක්‌ වශයෙන් උපයෝගී කරගන්නේ දැලිපොත්තය. දැලිපොත්ත යනු දැල්ලගේ පිට ආවරණය වී ඇති පොත්තය. දැල්ලාගෙ වර්ධනයත් සමඟ මෙම දැලි පොත්ත ඌගෙන් ගැළවී වෙරළට ගසාගෙන එයි. ඉන්පසු ධීවර කාර්මිකයින් මෙම දැලිපොතු ගෙනවිත් මිරිදිය ජලයෙන් සෝදා වේලීම සඳහා දුමේ තබනු ලැබේ. දැලිපොත්ත දුමේ සති තුනක්‌ පමණ තබා වේලාගනු ලැබේ.

ඉක්‌බිති දැලිපොත්ත කුඩා කැබලිවලට කපාගනු ලැබේ. එම කුඩා කැබලි ඉතා සිනිඳුවට ගල්ලෑල්ලක අතුල්ලා ගින්දරට රත් කරනු ලබයි. බිලීකටුවේ අච්චුව සාදාගනු ලබන්නේ ඉන් අනතුරුවයි. ඉන්පසුව උණුකරගනු ලැබූ සුදු ඊයම් දියරය ඉතා සියුම් අයුරින් පිටතට ගලා නොයන ආකාරයට අච්චුවට වක්‌ කරති. විනාඩි පහක පමණ කාලයකින් පසු දැලිපොත්තේ අච්චුවෙන් බිලීකටුව ගලවා ගනිති.

ඉන්පසු සියුම් මිටිවලින් බිලීකටු එකින් එක ඔප මට්‌ටම් කරලා පීරකින් ගාගනියි. බිලීකටුවේ ඔප දැමූ දිස්‌නයට තමයි මාලු රැවටෙයි.

බිලී පිත්තට ගන්නේ කිතුල් ගසේ අත්තකි. ළඟින් ළඟින් ගැට ඇති කිතුල් පිත්තක්‌ කපාගෙනවිත් එය පවනේ වේලා ගිනි ගොඩක දමා කිතුල් පිත්ත කෙළින් කර ගනියි. කිතුල් පිත්තට අමුණන යොත හෙවත් ලණුව අතීතයේදී සාදාගෙන ඇත්තේ අන්නාසි ගස්‌වල පොතුවලින් ඉරා ගන්නා කෙඳි එකට එකතුකර ගැනීමෙනි. එකල අන්නාසි ගසේ ඇති පීල්ලේ අග තලා කෙඳි සකසා ගෙන ඇත.

කෙසේ වුවද දැන් මේ සඳහා රිටිපන්න ධීවරයින් භාවිතා කරන්නේ තංගුස්‌ නූල්ය.

වෙනත් පන්න ක්‍රමවලදී මෙම බිලීකටුව වැසෙන සේ ඇමක්‌ ගැසිය යුතුය. මෙම රිටි පන්නයේදී ඇමක්‌ භාවිතා කරන්නේ නැත. ඇමට ගන්නේ මාළුවකු වැනි මෙම බිලීකටුවම පමණි.
මුල් කාලයේදී ඇලිස්‌ටෝනියා ලීයෙන් සෑදු රිටක්‌ මෙම කර්මාන්තය සඳහා යොදා ගත් අතර තාක්‍ෂණයේ දියුණුවත් සමඟ ඇලිස්‌ටෝනියා රිට වෙනුවට ගැල්වනයිස්‌ භටය දැන් ආදේශවී ඇත.

වෙනදා රිට මත වාඩිවී විටක්‌ දෙකක්‌ හප හපා මාළු අල්ලන රිටිපන්න ධීවර කාර්මිකයා දැන් නවීන තාක්‍ෂණයේ පිහිටෙන් නොයෙකුත් ගීත රස විඳිමින් මාළු අල්ලති. තාක්‍ෂණයේ පිහිටෙන්
කුමක්‌ වෙනස්‌ වුවද පාරම්පරික අපේ ලාංකීය ධීවරයාගේ දෙඅතින් එදා නිපදවූ රිටිපන්න බිලීකටුව වෙනුවට මේ දක්‌වාම කිසිදු කට්‌ටක්‌ තවමත් ආදේශවී නැත. සැබවින්ම මෙම පන්න ක්‍රමය ලාංකීයයන්ටම උරුමවූ පන්න ක්‍රමයකි.

 මෙරටට ආවේණික වූ මෙකී පන්න ක්‍රමය අපේ ධීවර කාර්මිකයාගේ කුසලතාවය විදහා දක්‌වන්නකි. මෙය මතු පරපුර වෙනුවෙන් රැක ගැනීම බලධාරීන්ගේ වගකීමකි.

රිටේ හිටගන්න හිතේ හයිය ඕන

රිටිපන්න ක්‍රමයට මසුන් ඇල්ලීමේ ක්‍රමය සාම්ප්‍රදායික ජනයා අතර මුලින්ම භාවිතයට පැමිණියේ කුමන සමයේද යන්න අපැහැදිලි නමුත්. පැරණි ධීවරයන්ගේ තොරතුරු අනූව මෙම ක්‍රමය
දෙවන ලෝක යුද්ධයෙන් අනතුරුව කාලයේදී ආරම්භ වී තිබේ.

රිටිපන්නයේ සමතුලිතව සිටීමට වැදගත් වේ. රිටිපන්නය බොහෝ විට කදුරු, කඩොල්, ඇට්ටෝනියා වැනි මුහුදු ජලයට ඔරොත්තු දෙන ලී වර්ගයකින් සාදාගනු ලබනු අතර බිලී පිත්ත කිතුල් ලීයෙන් නිර්මාණය කර ගනු ලබයි.

සාමාන්‍යයෙන් රිටිපන්න ක්‍රමය, කුම්බලාවන්, හුරුල්ලන් ආදී කුඩා මත්ස්‍යයින් ඇල්ලීම සඳහා යොදා ගනු ලබන අතර එලෙස අල්ලා ගනු ලබන මසුන් රිටිපන්නයේ හෝ ධීවරයාගේ ඉණ වටා ගැට ගසා ඇති කුඩා මල්ලකට එකතු කර ගනු ලබයි. මෝසම් සෘතුවේ මුහුද රළු දිනවලදී බොහෝ ධීවරයන් නොගැඹුරු මුහුදේ රිටි මත සිට මසුන් ඇල්ලීමට යොමුවන බැවින් එම සමයේදී රිටිපන්න මත සිට මසුන් අල්ලන්නන්ගේ ප්‍රමාණය අනෙක් කාලයන්ට වඩා සාමාන්‍යයෙන් වැඩිය.රිටිපන්න කර්මාන්තයේ වසන්ත කාලය මැයි මාසයේ සිට දෙසැම්බර් දක්‌වා ය.

දකුණු ලක වෙරළ බඩ සුන්දරත්වයේ අපූර්වත්වය රිටි පන්න ධිවර කලාව සමගින් ආභරණයක්‌ බවට පත්ව ඇත. එදා සිට අදටත් මෙම වෘත්තියේ නිරතවන ධීවර ජනතාවගේ මෙකී ජීවන
රටාව සංස්‌කෘතික ඇගයීමට ලක්‌විය යුතුව තිබේ.
 
සටහන හා ඡායාරූප  හබරාදුව නිමල් අල්ගෙවත්ත

Fishpic

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top