Dec 05, 2016

කියුබාව, කැස්ත්‍රෝ ට සමුදෙයි

දින නවයක ශෝක කාලයක් අවසන් කරමින් කියුබාව, එරට විප්ලවයේ අභීත ගිනි සිළුව යන විරුදාවලිය ලත් ෆිදෙල් කැස්ත්‍රෝ හට ඊයේ (04) දිනයේදී සමුදුන්නේය.

සන්තියාගෝ නුවර Santa Ifigenia සුසාන භූමියේදී කැස්ත්‍රෝගේ භෂ්මාවශේෂ තැන්පත් කැරුණු අතර, මෙම අවස්ථාවට පවුලේ ඥාතීන්ට අමතරව සහභාගීවී සිටියේ ආරාධිතයන් අතලොස්සක් පමණි.

මෙම අවස්ථාව කියුබානු හා ජාත්‍යන්තර රූපවාහිනී සේවා ඔස්සේ සජීවී ව විකාශය කිරීමට යෙදී තිබුණද, කියුබානු බලධාරීන් විසින් එම තීරණය අවසන් මොහොතේදී වෙනස් කර තිබුණි.

තවද, Santa Ifigenia සුසාන භූමිය හමුවේදී වෙඩිමුර 21කින් හා කියුබානු ජාතික ගීයෙන් ඇරඹුනු භෂ්මාවශේෂ තැන්පත් කිරීමේ අවස්ථාව වාර්තා කිරීමට විදෙස් මාධ්‍ය වලට ඉඩ ලබා දී නොතිබුණි.

කෙසේ වෙතත්, කැස්ත්‍රෝ ගේ භෂ්මාවශේෂ රැගත් හමුදා රථය සුසාන භූමිය වෙත ගමන් ගත් සැතපුම් දෙකක මාර්ගය දෙපස රැස්ව සිටි දහස් ගණන් කියුබානු ජාතිකයන් ශෝකය පළ කර අතර, සොහොනට ගෞරව දැක්වීම සඳහා ඇතුළු වීමට කියුබානු ජාතිකයන් හට කෙටි වේලාවක් පසුව ලබා දී තිබුණි.

කැස්ත්‍රෝ ගේ සොහොන සනිටුවහන් කර ඇත්තේ ඉතා සරලව ‘ෆිදෙල්’ ලෙස නම් කර ඇති කොළ පැහැ ඵලකයක් සහිත අඩි 15ක් පමණ උසැති වක්‍රාකාර ගලකිනි.

මේ අතර, සන්තියාගෝ නුවරට රැස්වූ කියුබානු ජාතිකයන් අමතමින් එරට ජනාධිපති රාවුල් කැස්ත්‍රෝ පවසා තිබුනේ සිය සොහොයුරා ගේ අවසන් කැමැත්තට අනුව, ඔහුගේ නාමයෙන් අනාගතයේදී කිසිඳු මාර්ගයක්, ගොඩනැගිල්ලක් හෝ ප්‍රසිද්ධ ස්ථානයක් නම් නොකරන බවත්, ඔහුගේ රුව සහිත ප්‍රතිමා ඉදිනොකරන බවත්ය.

දෙනෝ දහසක් හඬවමින් මෙලොවෙන් නික්ම ගිය කියුබානු විප්ලවයේ අභීත ගිනි සිළුව හට, ඔහු ගේ අවසන් කැමැත්තට ගරු කරමින්, ඔහුට රිසි වූ අයුරින්ම, අවසන් ගෞරව දැක්වීමට කියුබාව කටයුතු කර තිබුණේ මෙලෙසිනි.

(ඡායා : ඩේලිමේල්)

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top