Jan 05, 2017

100 පැන්නත් වාර්තා පොතට ගිය රොබර්ට්

ක්‍රීඩා ලෝකයේ වාර්තා පොත් අතරට යාමට වියපත්බව බාධාවක් නොවන බව ඔප්පු කිරීමට සමත්වූ මිනිසෙකු පිළිබඳ අපූරු පුවතක් ප්‍රංශයෙන් වාර්තා වේ.

ප්‍රංශයේ පැරිස් අගනුවරට බටහිරින් පිහිටි Saint-Quentin-en-Yvelines 'වෙලෝඩ්‍රෝම්' පාපැදි ධාවන පථයේදී නව පාපැදි වාර්තාවක් තැබීමට 105 වියේ පසුවන රොබර්ට් මාචාන්ඩ් සමත් විය.

අවුරුදු 105ට වැඩි වයස් කාණ්ඩයෙන් ක්‍රිඩා කළ ඔහු, එම වයස් කාණ්ඩය තුළ පැයකදී වැඩිම දුරක් ධාවනය කිරීමට සමත් වූ ක්‍රීඩකයා ලෙස වාර්තා පොත් වලට එක්විය.

ඒ, පැයකදී කි.මී. 22.547ක් ධාවනය කරමිනි.

තරගයෙන් අනතුරුව රොබර්ට් පවසා තිබුනේ තමාට තව ඉතිරිව ඇත්තේ විනාඩි 10ක් බවට දනවන සංඥාව කලින් දුටුවේ නම්, තවත් වේගයෙන් ධාවනය කරන බවයි.

වයස 100ට වැඩි වයස් කාණ්ඩය තුළද පැයකදී වැඩිම දුරක් ධාවනය කිරීමේ වාර්තාව හිමිවන්නේ ද රොබර්ට් හටයි. වසර 2012 දී පැයක කාලයක් තුළ කි.මී. 26.927ක් ධාවනය කිරීමෙන් අනතුරුව ඔහු මෙම වාර්තාව පිහිටුවේය.

සමස්ථ වයස් කාණ්ඩ අතුරින් පැයක් තුළ වැඩිම දුරක් ධාවනය කළ පාපැදි ක්‍රීඩකයා වන්නේ බ්‍රැඩ්ලි විගින්ස් ය. ඔහු මෙම වාර්තාව පිහිටුවා තිබුනේ 2015දී ය.

වසර 1911 දී උතුරු ප්‍රංශයේ උපත ලැබූ මාචාන්ඩ්, ඇඟපතින් කුඩා වූ බැවින් ඔහු පාපැදි ක්‍රීඩාව සඳහා සුදුසු නොවන බවට සඳහන් කර තිබුණි. කෙසේවෙතත්, ඔහු ජිම්නාස්ටික් ක්‍රීඩාවෙන් ජාතික ශූරතා දිනාගැනීමටත් සාර්ථකව බොක්සිං ක්‍රීඩාවේ නියැලීමටත් සමත් විය.

රොබර්ට් පාපැදි ක්‍රීඩාව සඳහා පුහුණුවීම් අරඹන විට ඔහුගේ වයස 67කි. වසර 2012 දී ඔහු පැරිස් අගනුවර සිට රුසියාවේ මොස්කව් අගනුවර දක්වා පාපැදියක් ධාවනය කිරීමට සමත් වූ අතර, ඒ වන විට ඔහුට වයස 81ක් විය.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top