Feb 27, 2017

පදක්කම ගැස්සුනත් හිමමත ඉස්සුන ලංකාවෙ කෙල්ල

නිවර්තන කලාපීය රටක් වන ශ්‍රී ලංකාවට හිම වැටීම යනු අරුමයක්ම වුවත්, පසුගියදා ජපානයේ සප්පොරො හි පැවති ආසියානු ශීත ඍතු ක්‍රීඩා උළෙලට ලාංකික කාන්තාවක් සහභාගී විය.

දහසය හැවිරිදි අස්කීයා උසුෆ් (Azquiya Usuph)වූ ඇය සහභාගී වූයේ ස්නෝබෝඩිං (snowboarding) ඉස්ව්වෙනි.

අත්දැකීම් හා දස්කම් අතින් තමාට වඩා ඉතා ඉදිරියෙන් සිටි සිය තරගකාරින් පදක්කමක් පසුපස හඹායද්දී අස්කීයා ගේ බලාපොරොත්තුව වූයේ ඉසව්ව අවසන් කිරීමයි.

කිහිප වරක් බිම වැටුනද ඇය උත්සහය අත්නොහැරියාය. තරග ගමන් මග ඔස්සේ හැරීමට ඇති ලක්ෂ්‍යයක් (Gate) මගහැරීමෙන් අනතුරුව ඇය තරගයේ සුදුසුකම් සැපිරීමට අසමත් වූ බවට සඳහන් (disqualify) කෙරුණද, අස්කීයා සිය ඉලක්කය කර නොසැලී ගමන් කරමින් තරගය අවසන් කළාය.

මේ අයුරින් ඇය ආසියානු ශීත ඍතු ක්‍රීඩා උළෙලට සහභාගී වූ පළමු ශ්‍රී ලාංකික කාන්තාව ලෙස ක්‍රීඩා ඉතිහාසයට එක්වූවාය.

අස්කීයා ප්‍රංශ පුවත් සේවය වෙත අදහස් දක්වා තිබුණේ මෙසේය :

“තරගය පටන්ගන්න තැනට ගියාම මං කොච්චර බයවෙලාද හිටියෙ කිව්වොත් මාව එහෙම්ම බිම ඇදන්වැටුනා… හතර පාරක් විතර වැටුනා. ගේට් එක මිස් වුනාට මං අන්තිම වෙනකන් ම ගියා. මගේ අරමුණ වෙලා තිබ්බෙ තරගය අවසන් කරන්න,” යැයි ඇය පවසයි.

පටන්ගැන්ම විතරයි
ශ්‍රී ලංකාව වඩාත් ජනප්‍රිය වන්නේ ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් වුවත්, මෙරට ඔලිම්පික් නිලධාරීන් පවසන්නේ ස්නෝබෝඩිං වැනි ක්‍රීඩා සඳහා ද ඉදිරියේදී ශ්‍රී ලංකාවෙන් තවත් ක්‍රීඩකක්‍රීඩිකාවන් ඉදිරිපත්වීම දක්නට ලැබෙනු ඇති බවයි.

ප්‍රංශ පුවත් සේවය හා සම්බන්ධ වෙමින් ජාතික ඔලිම්පික් කමිටුවේ මහලේකම් මැක්ස්වෙල් ද සිල්වා පවසා තිබුනේ මෙය ආරම්භයක් පමණක් වන බවයි.

“හැමෝටම දිනන්න බෑ. ඒත් නිසි අවස්ථා හා පුහුණුව ලබාදුන්නම ලාංකිකයන්ට ඕන දෙයක් කරන්න පුළුවන් කියන පණිවිඩය අපි දෙනවා,” යැයි ඔහු වැඩිදුරටත් පවසයි.

දින 14කින්
අස්කීයා ක්‍රීඩාවෙන් දස්කම් දක්වන්නේ හිම මත පමණක් නොවේ. ඇය පසුපස ආර ඉසව්වෙන් ජාතික මට්ටමේ දස්කම් දක්වන පිහිනුම් ක්‍රීඩිකාවක් ද වේ.

අස්කීයා ස්නෝබෝඩිං ක්‍රීඩාවට තෝරාගෙන ඇත්තේ ද ඇය දක්ෂ පිහිනුම් ක්‍රීඩාවක් බැවිනි. ඇය පළමු වරට හිම දැක ඇත්තේ ස්නෝබෝඩිං ක්‍රීඩාව ඉගෙනගැනීමට 2015දී දකුණු කොරියාවට ගිය අවස්ථාවේදී ය.

“ඇත්තටම මම ඉක්මනින් ස්නෝබෝඩිං ඉගෙනගත්තා… පුදුමෙකට වගේ දවස් 14කින්,” අස්කීයා පවසයි.

වැඩිදුර පුහුණුව සඳහා ස්ලොවීනියාවට ගිය ඇය, සමබරතාවය හා හැරවීම වඩාත් දියුණුකරගැනීමට නිතරම සර්ෆින් ක්‍රීඩාවේද නියැලෙයි.

කෙසේ වෙතත්, අස්කීයා පවසන්නේ ඇගේ සැබෑ දක්ෂතාවය ඇත්තේ පිහිණුම් ක්‍රීඩාවේ බවයි. “ඇත්තටම මගේ ක්‍රීඩාව පිහිනීම. පිහිණුම් ක්‍රීඩිකාවක් ලෙස තෝකියෝ ඔලිම්පික් තරගාවලියට යන්න මට ගොඩක් ආසයි. ප්‍රමාණවත්ව මහන්සි වෙලා පුහුණු වුනොත් මට ඕන දෙයක් කරන්න පුළුවන් කියලා මං මේ අත්දැකීමෙන් ඉගෙනගත්තා,” යැයි ඇය වැඩිදරටත් පවසන්නීය.

(AFP ඇසුරෙන්)

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top