Mar 02, 2017

ෆෝඩ් කියන ටීම් එකේ බෝල ඇල්ලිල්ලේ අවුල

ශ්‍රී ලංකාවේ පන්දුරැකීමේ අංශයේ උද්ගත වී ඇති ගැටළු සම්පූර්ණයෙන්ම විසඳිය හැක්කේ කණිෂ්ට ක්‍රිකට් වල හා නැගී එන ක්‍රීඩකයන් අතර ද පන්දුරැකීම සම්බන්ධයෙන් දීර්ඝ-කාලීනව විශේෂ අවධානයක් යොමුකිරීමෙන් බව ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ පුහුණුකරු ග්‍රැහැම් ෆෝඩ් පවසයි.

ක්‍රික්ඉන්ෆො වෙබ්අඩවිය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව පවසා තිබේ.

“මට හිතෙන්නේ පන්දුරැකීම කාලයක් පුරාවටම ලංකාවට බලපෑ ගැටළුවක්. ජාතික කණ්ඩායම සඳහා විවිධ පුහුණුකරුවන් ගෙනවිත් මෙම ගැටළුව මගහරවා ගැනීමට ද උත්සහ කර තිබුණා. එහෙත්, ශ්‍රී ලංකා ක්‍රිකට් පාලනාධිකාරිය මේ වන විට තේරුම් අරන් තියෙනවා පුහුණුකරුවෙක් ගෙනවිත් දැම්මාට මේ ප්‍රශ්ණය විසඳෙන්නෑ කියලා… මොකද උඩට එන ක්‍රීඩකයන් ඉන්නෙ නියමිත ප්‍රමිතියට වැඩිය ගොඩක් පහළින්. ක්‍රීඩකයෙක් කාලයක් තිස්සෙ පුහුණු වෙලා නැත්තම් පුහුණුකරුවෙක්ට එම ක්‍රීඩකයාව එකවර දක්ෂ පන්දුරකින්නෙක් කරන්න බෑ,” යැයි ඔහු කියයි.

“ක්‍රීඩකයන් කණ්ඩායමක් අරන් ඔවුන්ව ජොන්ටි රෝඩ්ස් ළඟට දාලා ඔවුන් හෙට දවසේ හොඳින් රකියි කියල හිතන්න බෑ. ඒ දේට කල් යනවා.”

කෙසේ වෙතත්, ශ්‍රී ලංකා ක්‍රිකට් හි කළමනාකාරිත්වය යටතේ පැවැත්වෙන කණ්ඩායම් තුළ මෙම ගැටළුව සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කිරීමට ක්‍රිකට් ආයතනය කටයුතු කිරීම පිළිබඳව ෆෝඩ් ප්‍රශංසාව පළ කර තිබේ. මේ වන විටත් අවුරුදු 19න් පහළ කණ්ඩායම නික් පොතාස් මහතා යටතේ පන්දුරැකීම පුහුණුවෙමින් සිටියි.

“මේ වෙද්දි 19න් පහළ කණ්ඩායම හොඳින් පන්දුරකිමින් ඉන්නවා. අවශ්‍ය වන්නෙ ලාබාල වයසකදී ප්‍රාථමික දේවල් හරියට ඉගෙනගැනීමයි. කාලයක් තිස්සේ ජාතික කණ්ඩායම එක්ක හොඳ පන්දුරැකීමේ පුහුණුකරුවන් කටයුතු කළත් ඒ වෙද්දි ගොඩක් දුරට පරක්කු වැඩියි.”

“වැදගත් වන්නේ පන්දුරැකීමේ පුහුණුකරු විතරක් නෙමෙයි. ක්‍රීඩා දක්ෂතාවය, වේගය හා හැකියාවත් වැදගත්. ඒ නිසා ශාරීරික සුවතා පුහුණුකරුවන්ද සම්බන්ධ වෙන්න ඕන. මේවන විට ක්‍රියාත්මක කරලා තියෙන මෙම ව්‍යාපෘතියෙන් කාලයක් ගතවෙද්දී ප්‍රථිඵල ලැබේවි,” යැයි ඔහු වැඩිදුරටත් පවසා තිබේ.

අතීතයේ ආසියානු කලාපයේ ඉතාමත් දක්ෂ ලෙස පන්දුරකින ක්‍රිකට් කණ්ඩායමක් ලෙස නම් දැරූ ශ්‍රී ලංකා පිළේ දුර්වල පන්දුරැකීම පසුගිය තරගාවලි කිහිපය පුරාවටම දක්නට ලැබුණි.

(ක්‍රික්ඉන්ෆො)

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top