nsb

Mar 19, 2017

ක්‍රිකට් ලාභ කතාවෙන් තිලංග පල් වෙයි ? Featured

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පසුගිය වසරේ (2016) රුපියල් මිලියන 200 ලාභයක් ලැබූ බවට ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල මහතා කර ඇති ප්‍රකාශයේ විශාල නොගැලපීම් ඇතැයි වාර්තා වේ.

ඒ අනුව, වර්තමාන ක්‍රිකට් පරිපාලනය තුළ සිදුවන දේවල් පිළිබඳව සළකා බැලීමේදී අනවශ්‍ය වියදම් කපාහැරීම නිසා පසුගිය 2016 වසරේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය රුපියල් මිලියන 200ක ලාභයක් ලැබුවේ යැයි පැවසීම විහිළුවක් බවට පත්ව තිබේ.

ඊට හේතුවී ඇති පළමු කාරණාව වන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මාධ්‍ය වෙත නිකුත්කර ඇති මූල්‍ය වාර්තාව ස්වාධීන විගණනයක් නොකළ වාර්තාවක් වීමය.

එසේම ආර්ථික ප්‍රවීනයන් කියා සිටින්නේ එවැනි වාර්තාවක් ප්‍රසිද්ධ කිරීම සාදාචාර සම්පන්න නොවන කරුණක් බවයි.

ඇමතිවරයාට ලබාදී ඇති ගිනුම් වාර්තාව ඇස්තමේන්තු කළ මුදලට සාපේක්‍ෂව සකස් කළ ගිණුම් වාර්තාවක් බව මේ වන විට හෙළිව තිබේ.

ඕනෑම ආයතනයකට මෙවැනි ගිණුම් වාර්තා සකස් කිරීමේ බාධාවක් නොවන බවද ආර්ථික විශේෂඥයෝ කියති.

මෙවැනි ආයතනයක ගිණුම් වාර්තාවේ අනිවාර්යෙන් ඇතුළත්විය යුතු අතිරේක සටහන් කිසිවක් මෙහි සඳහන්ව නොවීමද මේ වාර්තාව පිළිගත හැකි මට්ටමක නොවන එකක් බවට නිදර්ශනයකි.

තවද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තුළ ලාභ ලැබුවේ යැයි කියන මුදල් ප්‍රදර්ශනය කරන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ගිණුම් කරන දිනට වත්කම් සහ වගකීම් ඇතුළත් ශේෂ පත්‍රය ඉදිරිපත් කළ යුතුය.

වාර්ෂික ගිණුම් වාර්තාවේ අනිවාර්ය කොටසක් වන ශේෂපත්‍රයක් මාධ්‍යයට ඉදිරිපත් කර නොමැත.

මෙම ගිණුම් වාර්තාවට අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දේශිය ක්‍රිකට් සඳහා රුපියල් මිලියන 433 කට අධික මුදලක් (433,448,874) වැයකර ඇති බව සඳහන් වේ.

එය එසේ නම් එම මුදල වියදම් වූ ආකාරය විශේෂ සටහනක් ලෙස මූල්‍ය වාර්තාවේ සඳහන් විය යුතුව තිබුණද එවැන්නක් සඳහන්ව නොමැත.

එම ගිණුම් වාර්තාවේ සියලුම වියදම් එසේ වන අතර උදාහරණයක් ලෙස මානව සම්පත් සහ නීති කටයුතු ආදිය වෙනුවෙන් කළ වියදම් ලෙස රුපියල් මිලියන 613 කට අධික මුදලක් (613,759,199) වැය කර ඇති බව සඳහන් වේ.

මෙම වියදමට ක්‍රීඩකයන්ට වාර්ෂික කොන්ත්‍රා ගිවිසුමට අනුව ගෙවන මාසික දීමනාවද ඇතුළත්ව ඇතැයි උපකල්පනය කළ හැකි අතර නව ගිවිසුමට අනුව ක්‍රීඩකයන්ගේ ගෙවීම් අඩු කළ බව ප්‍රසිද්ධ රහසකි.

එම වියදම් ශිර්ෂයේ සටහනක් ලබාදී තිබුණේ නම් වත්මන් පරිපාලනය තුළ නව සේවයන් බඳවා ගනිමින් සඳහා කොපමණ මුදලක් වැඩි වී ඇත්තේද යන්න විවෘත වේ.

මෙම ගිණුම් වාර්තාවට අනුව 2016 වසරේ වියදම් ඇස්තමේන්තුව රුපියල් මිලියන 3081 කට අධික (3,081,127,010) වන අතර සැබෑ වියදම රුපියල් මිලියන 2422 කට අධික (2,422,796,168) මුදලකි.

මෙම ගිණුම් වාර්තාවේ තවත් කැපී පෙනෙන කාරණාවක් වන්නේ දේශීය ක්‍රිකට් සංවර්ධන සහ මානව සම්පත් සම්බන්ධයෙන් 2016 වසරේ ආදායමක් ඇස්තමේන්තු කර නොමැති වුවද එම ශීර්ෂ තුනේදී රුපියල් මිලියන 30 කට ආසන්න ආදායමක් පෙන්වා තිබේ.

උදාහරණයක් ලෙස පුද්ගලයකුට සිය මාසික වියදම රුපියල් 30,000 ක් යැයි ඉහළ ඇස්තමේන්තුවක් ලබාගෙන සත්‍ය වියදම රුපියල් 20,000 ක් වූ විට රුපියල් 10,000 ක ලාභයක් තිබේ යැයි පැවසුවහොත් එහි සත්‍යතාව සහ විනිවිදභාවය පිළිබඳව ගැටලුවක් මතුවේ.

එම පුද්ගලයාගේ රුපියල් 20,000 ක මුදල තුළ ඇති වියදම් පිළිබඳව වාර්තාවක් අවශ්‍ය වන බව ඕනෑම පුද්ගලයකුට පහසුවෙන් තේරැම් ගත හැකිය.

මූලාශ්‍රය - දේශය

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top