15976 BM WEB BANNER 01
Apr 01, 2017

අවුරුදු 6කට පස්සේ SSC යේ වාසි සොයන ලංකාව

වසර හයකට පසුව එක්දින අන්තර්ජාතික තරග නැවතත් එස්. එස්. සී. ක්‍රීඩාංගණයට සම්ප්‍රාප්ත වී තිබේ.

වසර හයක් පුරා නොලැබුණු එක්දින තරග, ශ්‍රී ලංකා භූමියේ පළමු එක්දින තරගය පැවැති ක්‍රීඩාංගණයට නැවතත් පැමිණීමට හේතු භූත වූ කරුණු කාරණා බොහොමයක් ඇතත් මේ වන විට බොහෝ දෙනාගේ කුකුසට බඳුන් වී ඇත්තේ එකම පැනයකි.

එනම් ශ්‍රී ලංකා කණ්ඩායමට බෙහෙවින් වාසිදායක ක්‍රීඩාංගණයක් සේ සැලකෙන එස්. එස්. සී. පිටියේදී බංග්ලාදේශය පරාජය කිරීමට ශ්‍රී ලංකාවට හැකිවේද යන්නයි.

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැත්වෙන තරග 3 කින් සමන්විත එක්දින තරගාවලියේ තරග දෙකක් නිමා වී ඇතත් ශ්‍රී ලංකා කණ්ඩායම තවමත් සිටිනුයේ පසුපසිනි. පළමු තරගය ජයගත් බංග්ලාදේශය 1-0 ක් ලෙසින් ඉදිරියෙන් පසුවෙයි.

හෙට තරගයේ ඉරණම කුමක් වූවත් බංග්ලාදේශය තරගාවලියෙන් පරාජය වන්නේ නැත. ඔවුන් පීඩනයෙන් මිදී සිටින්නේ එබැවිනි. අනෙක් අතට පිට පිටම එක්දින තරග 6 ක් පරාජය වී සිටින ශ්‍රී ලංකා කණ්ඩායම ඉතා විශාල පීඩනයකට නතුව සිටී.

පසුගිය වසර මැදදී යෙදුණු ඕස්ටේ්‍රලියානු පිලේ ශ්‍රී ලංකා සංචාරයේ පළමු තරග දෙකම ජයගෙන 2-0 ක් ලෙසින් ඉදිරියෙන් සිටි ශ්‍රී ලංකා පිල ඉතිරි තරග තුනම එක දිගට පරාජය වීම නිසා 3-2 කින් තරගාවලිය පරාජය විය. ඉන් අනතුරුව සිම්බාබ්වේ පිලට එරෙහිව පැවැති තරගාවලිය ජයගත් නමුත් දකුණු අප්‍රිකාවට එරෙහිව පැවැති තරගාවලිය 5-0 ක් ලෙසින් පරාජය වූ ශ්‍රී ලංකා කණ්ඩායමට දඹුල්ලේදී බංග්ලාදේශය හමුවේ අත්වූයේ ඛේදජනක ඉරණමකි.

මෙහි ඇති අනෙක් වැදගත් කාරණය වන්නේ ලබන ජූනි මාසයේදී එංගලන්තයේදී පැවැත්වෙන ශූරයන්ගේ කුසලාන තරගවලියට පෙර ශ්‍රී ලංකා කණ්ඩායම මුහුණ දෙන අවසන් එක්දින තරගය මෙම තරගය වීමයි. මේ වන විට එක්දින ශ්‍රේණිගත ලයිස්තුවේ 6 වැනි  ස්ථානය දක්වා ඇද වැටී සිටින ශ්‍රී ලංකා කණ්ඩායම අභිබවා යාමට හෙට තරගයේදී බංග්ලාදේශය සමත් වුවහොත් තත්ත්වය ඉතා අසීරු වනු ඇත.

දකුණු අප්‍රිකාවේදී පාදයේ ආබාධයකට ලක්වූ ඇන්ජලෝ මැතිව්ස් සිටියේ මෙම තරගය සඳහා සූදානමිනි. එහෙත් මැතිව්ස්ට මෙම තරගයත් අහිමි වී තිබේ.

ශ්‍රී ලංකා පිලේ ක්‍රිකට් කළමණාකරු අසංක ගුරුසිංහ මහතා පැවසූවේ හෙට තරගය සඳහා නම්කර ඇත්තේ ක්‍රීඩකයන් 12 දෙනකු පමණක් බවත් ඇන්ජලෝ මැතිව්ස් ඊට ඇතුළත්ව නැති බවත්ය.

“විස්සයි-20 (බංග්ලාදේශයට එරෙහිව) පැවැත්වෙන තරග දෙකේදී වුණත් එයා සෙල්ලම් කරයිද කියලා හරියටම කියන්න බෑ. අපේ බලාපොරොත්තුව දෙවැනි විස්සයි-20 තරගයට හෝ ඇන්ජලෝව ගන්නයි” යයිද අද දහවල් පැවැති පුවත් පත් සාකච්ඡාවකදී ගුරුසිංහ මහතා පැවසීය.

 වැඩිදුරටත් කළ සොයාබැලීමකදී දැනගත හැකිවූයේ මැතිව්ස් පසුගිය සඳුදා නැවතත් පන්දු යැවීමේ පුහුණුවීම් ආරම්භ කළ නමුත් පාදයේ අහසුතාවක් ඇතිවීම නිසා පුහුණුවීම් අතර මග නතර කළ බවයි. මෙම ආබාධය හේතුවෙන් ඇතැම් විට අයි. පී. එල්. තරගාවලියේ පළමු තරග කිහිපයට සහභාගි වීමද සැක සහිත බව වාර්තා වේ.
දඹුල්ලේදී පන්දුවක් ඇඟිල්ලේ වද්දාගත් නිරෝෂන් දික්වැල්ලටද ෂති තුනක පමණ කාලයක් විවේක අවශ්‍ය බව ගුරුසිංහ මහතා කියයි.

ශ්‍රී ලංකා සංචිතය
උපුල් තරංග (නායක), ධනංජය ද සිල්වා, කුසල් මෙන්ඩිස්, අසේල ගුණරත්න, දිනේෂ් චන්දිමාල්, ධනුෂ්ක ගුණතිලක, සුරංග ලක්මාල්, ළහිරු කුමාර, විකුම් සංජය, තිසර පෙරේරා, සචිත් පතිරණ, සීකුගේ ප්‍රසන්න, ලක්ෂාන් සඳකැන්, මිලින්ද සිරිවර්ධන, නුවන් ප්‍රදීප්, නුවන් කුලසේකර සහ ඩිල්රුවන් පෙරේරා

බංග්ලාදේශ සංචිතය
මෂ්රාෆි මෝර්ටසා (නායක), ටමීම් ඉක්බාල්, සෞම්‍ය සාර්කර්, ඉම්රුල් කේයිස්, මුෂ්ෆිකුර් රහීම්, සකිබ් අල් හසන්, සබීර් රහමන්, මහමදුල්ලා රියාද්, මොසඩක් හොසේන්, මුස්ටෆිසුර් රහමන්, රුබෙල් හොසේන්, ටස්කින් අහමඞ්, සුබෂිස් රෝයි, සුන්සමුල් ඉස්ලාම්, ෂව්ගතා හොම්, නුරුල් හසන්, මෙහෙදි හසන්

මූලාශ්‍රය - ලංකාදීප

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top