Apr 14, 2017

මාලිංගව දකුණු අප්‍රිකාව ඉල්ලයි !

දකුණු අප්‍රිකාව ප්‍රථම වරට සංවිධානය කරනු ලබන විස්සයි - 20 තරගාවලියක් සඳහා ශ්‍රී ලංකාවෙන් බිහිවූ සුපිරි වේගපන්දුයවන්නා සේ සැලැකෙන ලසිත් මාලිංගට ඇරයුම් ලැබී ඇතැයි විදෙස් වාර්තාවල දැක්වේ.

මේ වසරේ අවසන් කාලයේදී මේ තරගාවලිය පැවැත්වීමට නියමිත බවද පැවසේ.

මාලිංගට අමතරව, ක්‍රිස් ගේල්, කිරන් පොලාර්ඩ්, කෙවින් පීටර්සන්, ඩවේන් බ්‍රාවෝ, බ්‍රෙන්ඩන් මැකලම්, ඉයන් මෝර්ගන් හා ජේසන් රෝයි යන ක්‍රීඩකයෝද මේ සඳහා එක්වීමට නියමිත බව වාර්තා වේ.

මාලිංග IPL ඉතිහාසයේ වටිනාම ක්‍රිඩකයා

මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම නියෝජනය කරන මාලිංග, ඉන්දියානු ප්‍රීමිය ලීග් ක්‍රිකට් තරගාවලිය හෙවත් IPLතරගාවලි ඉතිහාසයේ මෙතෙක් බිහිවූ වටිනාම ක්‍රීඩකයා බවට තේරී පත්ව තිබේ.

ඉන්දියානු වෙබ් අඩවියක් විසින් සිදු කර ඇති මෙම වර්ගීකරණයට අනුව වටිනාම ක්‍රීඩකයින් පස් දෙනෙකු තෝරා ගෙන ඇති අතර අනෙක් සිව් දෙනාම පිතිකරුවන් වීමද විශේෂිතය.

IPL තරගාවලිය යනු පිතිකරුවන්ගේ තරගාවලියක් වුවත් පන්දුයවන්නෙකු වටිනාම ක්‍රීඩකයා බවට පත්වීම ද කැපී පෙනේ.

IPL ඉතිහාසයේ තරග 98කට ක්‍රීඩා කර ඇති ලසිත් මාලිංග එහිදී කඩුලු 143ක් බිඳ හෙළීමට සමත්ව තිබේ.

ලසිත් මාලිංග ඉන්දියානු ප්‍රේක්ෂකයන්ගේ ඉහළම ප්‍රතිචාරය ලබා ගැනීමටද මේ වනවිට සමත්ව සිටී.

රෝහිත් ෂර්මා, ඩ්වේන් බ්‍රාවෝ මෙම වර්ගීකරණයේ පස්වන ස්ථානයටත්, ඒ.බී. ඩී විලියර්ස් සිව් වන ස්ථානයටත්, ක්‍රිස් ගේල් තෙවැනි ස්ථානයටත්, සුරේෂ් රෙයිනා දෙවැනි ස්ථානයත් දිනා ගැනීමට සමත්ව තිබේ.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top