nsb

Apr 24, 2017

ආසියානු ගෝන්ෆ්‍රී මලල ක්‍රීඩා තරග අද චීනයේදී ඇරඹේ Featured

ආසියානු ගෝන්ෆ්‍රී මලල ක්‍රීඩා තරග ආරම්භ කරමින් අද (24) හා මැයි 27 යන දිනයන්හි චීනයේ පැවැත්වෙන අදියර දෙකම ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 11 දෙනකු සහභාගි වේ.

මෙම කණ්ඩායමට ක්‍රීඩක ක්‍රීඩිකාවන් පස්දෙනකු බැගින් ඇතුළත්ව සිටින අතර ඉන් පිරිමි හෙල්ල විසි කිරීමේ තරගය හා කාන්තා මීටර් 800 තරගය වෙනුවෙන් ශ්‍රී ලංකා පිලට දෙදෙනකු බැගින් එක්ව සිටිති.

එහිදී පිරිමි මීටර් 100 තරගය සඳහා හිමාෂ ඒෂාන්, මීටර් 400 අජිත් ප්‍රේමකුමාර, මීටර් 800 ඉඳුනිල් හේරත්, තුන් පිම්ම සංජීව ජයසිංහ හා හෙල්ල විසි කිරීම වරුණ ලක්ෂාන් දයාරත්න හා සුමේධ රණසිංහ යන ක්‍රීඩකයන් සහභාගි වෙති.

රුමේෂිකා රත්නායක කාන්තා මීටර් 100 ඉසව්වට ඉදිරිපත්ව සිටින අතර නිමාලි ලියනආරච්චි හා ගයන්තිකා අබේරත්න මීටර් 800 ඉසව්වට සහභාගි වෙති.

මීට අමතරව උස පැනීමේ ඉසව්ව සඳහා තරංගා විනෝදනීද, යගුලිය විසි කිරීම සඳහා තාරිකා ප්‍රනාන්දුද ශ්‍රී ලංකා පිලට එක්ව සිටී.

ඩෙංගු වැළදීමෙන් උසපැනීමේ ශූරයාට තරගවලිය මඟහැරෙයි

 මෙම ආසියානු ගෝන්ෆ්‍රී අදියර තුනටම ශ්‍රී ලංකාවේ සිටින උස පැනීමේ ශූරයා වන අසේල කුමාර විජේසේකරද කලින් එක්කර තිබුණද මේ වනවිට ඩෙංගු රෝගයට ප්‍රතිකාර ලබමින් පසුවන බැවින් ඔහු ශ්‍රී ලංකා පිලෙන් ඉවත්කර ඇත.

මෙම අදියර තුනකින් සමන්විත ආසියානු ගෝන්ෆ්‍රී මලල ක්‍රීඩා තරගාවලියේ තෙවැනි හා අවසන් අදියර මැයි 30 වැනිදා චීන තායිපේහිදී පැවැත්වේ.

මෙවර කාන්තා මීටර් 800 ඉසව්ව සඳහා වැඩි පදක්කම් බලාපොරොත්තු තබා තිබේ.

ඒ ඊට ඉදිරිපත් වන නිමාලි ලියනආරච්චි මෙන්ම ගයන්තිකා අබේරත්නද නිරන්තරයෙන්ම ශ්‍රී ලංකාවේදී කරට කර තරග වදින ක්‍රීඩිකාවන් දෙදෙනකු වීම නිසාය.

ඔවුන් දෙදෙනා වරින් වර ජාතික වාර්තාව තමන් සතුකර ගනිමින් ලබාගන්නා පුහුණුව ශ්‍රී ලංකාවට පදක්කම් දිනා ගැනීම පහසු කරවා ඇති බව ක්‍රීඩා විචාරක මතය වේ.

ඒ හා සමානවම පිරිමි හෙල්ල විසි කිරීමේ ඉසව්ව සඳහාද සුමෙධ රණසිංහ හා වරුණ ලක්ෂාන් දයාරත්න අතර පවතින තරගයද ශ්‍රී ලංකාවට වාසිදායක බව පැවසේ.

 ඔවුන් දෙදෙනාම මේ වනවිට තමන්ගේ පුද්ගලික දක්ෂතා මීටර් 80න් එපිට රැගෙන ගොස් තිබිම පදක්කම් බලා‍පොරොත්තු ඇතිකරවන තත්ත්වයකි.

මීට අමතරව මීටර් 100 පිරිමි හා කාන්තා ඉසව්වන්හිදී හිමාෂ ඒෂාන්ට හා රුමේෂිකා රත්නායකටද ශ්‍රී ලංකාවේ පදක්කම් බලා‍පොරොත්තු ඉටුකර දීමේ හැකියාව පවතී.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top