May 10, 2017

පළමු විශිෂ්ටත්වයේ කේන්ද්‍රය පල්ලෙකැලේ ට (ඡායා)

ක්‍රිකට් ක්‍රීඩාව තවදුරටත් සවිගැන්වීමේ අරමුණෙන් ආරම්භ කෙරුණු පළමු විශිෂ්ටත්වයේ කේන්ද්‍රය තුළ පිහිටි යෝග්‍යතා පුහුණු ගොඩනැගිල්ල ඊයේ (09) මහනුවර පල්ලෙකැලේ අන්තර්ජාතික ක්‍රිකට් පිටියේ දී විවෘත කරන ලදී.

නව මධ්‍යස්ථානය තුල දැල් වලින් ආවරණය කරන ලද, පුහුණු තණ තීරු 6ක් අන්තර්ගත කරඇති අතර, ඒ සඳහා වෙන වෙනම ම ආවරණය වන ලෙස සුවිශේෂී වූ ආලෝක පද්ධතියක් ස්ථාපිත කර ඇත. එසේම ගෘහස්ථ ක්‍රීඩාගාරයක ඇති පහසුකම් වලින් ද සපිරි මෙමස්ථානය ශූරයින්ගේ කුසලාන තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුවීම් කටයුතු උදෙසා භාවිතයට ගත හැකි ලෙස කඩිනමින් සංවර්ධනය කර ඇත.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට මෙවැනි මධ්‍යස්ථානහතරක් පළාත් මට්ටමින්, දිවයින පුරාම ආවරණය වන පරිදි නිර්මාණය කිරීමට අවශ්‍ය වී ඇති අතර, ඒ සඳහා මහනුවර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් පිටිය, කොළඹ ආර්.ප්‍රේමදාස පිටිය, ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් පිටිය හා රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රිකට් පිටිය හඳුනාගෙන තිබේ. එහි මුල් අඩිතාලම ලෙස පල්ලෙකැලේ දී විවෘත වූ විශිෂ්ටත්වයේ කේන්ද්‍රය සැලකේ.

මෙම යෝග්‍යතා මධ්‍යස්ථානයේ පළමු අදියරේ වැඩ කටයුතු මේ වන විට සම්පූර්ණ කර ඇතිඅතර, මෙය සඳහා නවීන තාක්ෂණය හැකි උපරිමයෙන් භාවිතා කරමින් සැලසුම් නිමවා ඇත. ප්‍රතිසංවිධාන හා පුනරුත්ථාපන මධ්‍යස්ථානයක්, පිහිනුම් තටාකයක් හා නවාතැන් පහසුකම් ද ඉදිරියේ දී මෙයට අන්තර්ගත වනු ඇත.

මෙම විවෘත කිරීමේ අවස්ථාවට ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති තිලංග සුමතිපාල මහතා හා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක ඇන්ජලෝ මැතිව්ස් ඇතුළු ක්‍රිකට් ක්‍රීඩකයින් ද එක්ව සිටියේය.

(ඡායා : ශ්‍රී ලංකා ක්‍රිකට් නිල වෙබ් අඩවිය)

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top