Jun 08, 2017

කොමාන්ඩෝ චැලෙන්ජ් සුපර් ක්‍රොස් 2017 ලබන මාසයේදී

මෙරට මෝටර් රථ ධාවකයින් සහ පැදිකරුවන්ට සිය උපරිම දක්ෂතා සුපිරි අන්දමින් දැක්වීම සඳහා   “කොමාන්ඩෝ සුපර් ක්‍රොස් 2017“ මෙවර ද සංවිධානය කෙරෙයි.

ශ්‍රී ලංකා යුධ හමුදාවේ කොමාන්ඩෝ රෙජිමේන්තුව සහ  ශ්‍රී ලංකා පැදිකරුවන්ගේ සහ ධාවකයින්ගේ සංගමය  හා සියැට් ශ්‍රී ලංකා ඒකාබද්ධව සංවිධානය කරන මෙම  තරඟාවලිය ජුලි 16වනදා පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

මෙරට ධාවන පථ අතර දීර්ඝතම, පුළුල්තම, වේගවත්ම ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූල ධාවන පථයක තරඟ වැදීමට  “කොමාන්ඩෝසුපර් ක්‍රොස් 2017“ හිදී අවස්ථාව හිමිවීම විශේෂත්වයකි. මෝටර් රථ සහ යතුරු පැදි සඳහා ජාත්‍යන්තර ප්‍රමිතින්ට අනුව ඉදිවුන මෙරට ප්‍රථම “Jocker lap” ධාවන පථය වන  මෙය “කොමාන්ඩෝ ලැප්“ ලෙස මෙවර නම් කර තිබේ.  කොමාන්ඩෝ රෙජිමේන්තු පුහුණු පාසැල පිහිටි ඌව කුඩා ඔය බලහරුව  නම් ප්‍රදේශය දුටුගැමුණු රජතුමන් විසින් සිය සේනා පුහුණු කිරීම සඳහා භාවිත කළ භූමිය ආශ්‍රිතව ඉදිකර ඇති මෙම ජාත්‍යන්තර ප්‍රමිතියේ ධාවන පථය කිලෝමීටර් 1.9 ක මෝටර් රථ පථයකින් සහ කිලෝමීටර් 1.6 ක යතුරු පැදි ධාවන  පථයකින් යුක්ත වෙයි. ශ්‍රී ලංකා පැදිකරුවන්ගේ සහ ධාවකයින්ගේ සංගමයේ උපදෙස් අනුව සකසා ඇති මෙම ධාවන පථය  යොදාගනිමින් මෙම තරඟාවලිය තුළදී මෝටර් රථ ධාවන තරඟ  12ක් සහ යතුරු පැදි තරඟ 10ක් පැවැත්වීමට අපේක්ෂිත වෙයි. අති විශාල ප්‍රේක්ෂක ප්‍රතිචාර මැද නවතම ධාවන පථයක පැවැත්වෙන මෙම තරඟ වලදී දිවයිනේ හොඳම රියදුරන් සහ පැදිකරුවන් දස්කම් දක්වනු ඇතැයි අපේක්ෂිතය.

මෙම තරඟවලිය පිළිබඳව අදහස් දැක්වූ කොමාන්ඩෝ රෙජිමේන්තුවේ අධිපති මේජර් ජනරාල් රැල්ෆ් නුගේරා  කියා සිටියේ කොමාන්ඩෝ චැලෙන්ජ් සුපර් ක්‍රොස් 2017   ධාවකයින්ට පැදිකරුවන්ට පමණක් නොව නරඹන්නන්ටද සුවිශේෂී බවයි.  ජාත්‍යන්තර මට්ටමේ නවතම ධාවන පථයක මෙම තරඟය පැවැත්වෙන බැවින් එය ප්‍රේක්ෂකයින්ට නැවුම අත්දැකීමක් වනු ඇති බව  හෙතෙම සඳහන් කළේය. ඓතිහාසික වශයෙන් ද මෙම ධාවන පථය පිහිටි භූමිය දුටුගැමුණු රජතුමාගේ සේනාවන්ගේ බලය හා ශක්තිය සමඟ මුසුවී ඇති  බවත් එම නිසා මෙම ධාවන පථය තුළදී ඉහළම දස්කම් දැක්වීමට බොහෝ තරඟකරුවන්ට හැකිවනු ඇති බවත් හෙතෙම පෙන්වා දුන්නේය.

මෙම අවස්ථාව පිළිබඳ අදහස් දැක්වූ ශ්‍රී ලංකා පැදිකරුවන්ගේ සහ ධාවකයින්ගේ සංගමයේ සභාපති නිෂාන් වාසලතන්ත්‍රී මහතා පෙන්වා දුන්නේ මෙම වසරේදී ද කොමාන්ඩෝරෙජිමේන්තුව හා එක්ව “කොමාන්ඩෝ චැලෙන්ජ් සුපර්ක්‍රොස් - 2017 “සංවිධානය කිරීමට අවස්ථාව හිමිවීම පිළිබඳව සතුටු වන බවයි.පසුගිය වසරේ ධාවන තරඟාවලිය අවසන් වීමෙන් පසුව මෙරට ප්‍රේක්ෂකයින්ට නැවුම් අත්දැකීමක් ලබාගත හැකි ආකාරයට මීළඟ තරඟාවලිය සංවිධානය කිරීමට යෝජනා වූ බවත්,ඒ අනුව මෙවර නවතම ධාවන පථයක පැවැත්වෙන තරඟයක් නැරඹීමට  අවස්ථාව උදාකර දී ඇති  බවත් හෙතෙම සඳහන් කළේය.  මෙම සුපිරි ධාවන පථයේදී ඉහළ දක්ෂතා සහිත පැදිකරුවන් සහ ධාවකයින්   වඩා වැඩි ඉහළ දස්කම් දක්වනු ඇති බවත් ඒ මහතා වැඩිදුරටත් පැවසීය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ වාසල තන්ත්‍රී මහතා පෙන්වා දුන්නේ  අභය සහ සමාගමේ අනුග්‍රාහක ශක්තියෙන් ඇරඹි   ශ්‍රී ලංකා සුපර් සීරීස් 2017 හි ප්‍රධානතම තරඟාවලියක් ලෙස කොමාන්ඩෝ චැලෙන්ජ් සුපර් ක්‍රොස්  තරඟාවලිය හැදින්විය හැකි බවයි.මෙම තරඟාවලියේ ශූරතාව දිනාගන්නා ධාවකයාට   විෂන් කෙයාර් පුද්ගලික සමාගමේ අනුග්‍රාහකත්වයෙන් සහ කියා මෝටර්ස් පුද්ගලික සමාගමේ සම අනුග්‍රාහකත්වයෙන් නවතම  KIA Picanto මෝටර් රථයක් පිරිනැමීමට කටයුතු යොදා ඇති  බවයි. එමෙන්ම ශූරතාව දිනාගන්නා පැදිකරුවාට ස්ටැෆර්ඩ් මෝටර්ස්  පුද්ගලික සමාගම විසින් නවතම Honda Hornet  වර්ගයේ යතුරුපැදියක් පිරිනැමීමට නියමිත බවයි. මෙම ත්‍යාග පිරිනැමීමේ උත්සවය 2017 දෙසැම්බර් 2 වනදා රත්මලාන ඊගල්ස් ලේක් සයිඩ් හෝටලයේදී පැවැත්වීමට කටයුතු යොදා ඇති බවද හෙතෙම සඳහන් කළේය.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top