Jul 04, 2017

ශ්‍රී ලංකා ක්‍රිකට් ඔස්ටින් මැනේජ්මන්ට් යටතට ! Featured

පරාජයට පත්වීමට නොහැකි තරග පරාජයට පත්වීම සම්බන්ධයෙන් සොයා බැලීමට කටයුතු කරන්නැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ඉහල පරිපාලනයෙන් එහි පහල පරිපාලන නිලධාරීන් පිරිසක් ඉල්ලා ඇතැයි වාර්තා වේ.

මේ සම්බන්ධයෙන් අප ක්‍රිකට් ආයතයේ ප්‍රධානියකුගෙන් කළ විමසීමකදී නම හෙළි නොකරන ලෙසට ඉල්ලීමක් කළ ඔහු කියා සිටියේ ඇතැම් තරග පරාජයන් සම්බන්ධයෙන් නිලධාරීන් අතර සැකයක් මතුව ඇති බව සත්‍යක් බවයි.

ශ්‍රී ලංකා මිරර් වෙත ලැබෙන ආරංචි මාර්ග අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ නායක ඇන්ජලෝ මැතිව්ස් ඇතුළු ප්‍රධාන පෙළේ ක්‍රීඩකයන් දසදෙනෙකුගේ කළමනාකරු ලෙස එක් ආයනයක් කටයුතු කිරීම මේ සැකය තීවුර කිරීමට හේතුවී ඇති බවයි.

30/84, පෙරේරා ගාඩ්න්ස්, පැලවත්ත, බත්තරමුල්ල යන ස්ථානයේ පිහිටා ඇති ඔස්ටින් මැනේජ්මන්ට් නැමැති ආයතය මෙසේ මැතිව්ස් ඇතුළු ක්‍රීඩකයන් දසදෙනෙකුගේ කළමනාකරු ලෙස කටයුතු කරනු ලබයි.

කෙසේවුවද, අදාළ ආයතනය පසුගිය කාලයේ ක්‍රීඩක දීමනා සම්බන්ධයෙන්ද මැදිහත්ව ඇති බවට මාධ්‍ය චෝදනා එල්ලවී තිබිණි.

කාර්මික නිලධාරියකු ලෙස ශ්‍රී ලංකාවට පැමිණ පසුව මාධ්‍යවේදයකු වී මෙරට කතක් සමඟ විවාහ වී සිටින චාලි ඔස්ටින් නැමැත්තෙකුගේ මෙහෙයවීම යටතේ මේ සමාගම ක්‍රියාත්මක වන්නක් බව පැවසේ.

චාලි කළක් නැසීගිය ක්‍රිකට් විනිසුරුවරයකුගේ නිවසක ලැගුම්ගෙන සිට ඒ හරහා ක්‍රික් ඉන්ෆෝ ක්‍රිකට් වෙබ් අඩවියේ මාධ්‍යවේදියකු ලෙස කටයුතු කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් සමඟ මිතුරුව ඔවුන්ගේ කළමනාකරු බවට පත්ව ඇති බව පැවසේ.

සමාන්‍යයෙන් එක් ක්‍රීඩකයෙකු තම වාර්ෂික ගිවිසුම් මුදලෙන් ප්‍රතිශතයක් චාලි ඔස්ටින් විසින් මෙහෙයවන ඔස්ටින් මැනේජ්මන්ට් ආයතනයට ගෙවනු ලබන බවද වාර්තා වේ.

ශ්‍රී ලංකා පිලේ තේරීම්වලට බලපෑම්

මෙසේ එක් සමාගමක් විසින් නායකයා ඇතුළු ජ්‍යෙෂ්ඨ හා ප්‍රබල ක්‍රීඩකයන් රැසකගේ කළමනාකාරීත්වය දැරීම ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ තේරීම්වලට ද බලපෑම් ඇතිවූ කරුණක් බව ක්‍රිකට් ප්‍රවීනයෝ කියති.

පසුගිය කාලයේ ශ්‍රී ලංකා පිල සහභාගිවූ තරගවල 70% ක ප්‍රතිශතයක් ක්‍රීඩකයන් සිට ඇත්තේ චාලිගේ ඔස්ටින් මැනේජ්මන්ට් ආයතනය කළමනාකරනය කරන ක්‍රීඩකයෝ බවද පැවසේ.

ඇන්ජලෝගේ ඥාතියා

මේ අතර, ශ්‍රී ලංකා පිලේ ධනුෂ්ක ගුණතිලක, කුසල් මෙන්ඩිස් හා ජෙෆ්රි වැන්ඩසේගේ කළමනාකරු ලෙස කටයුතු කරනු ලබන අසංක විජේවර්ධන මේ ක්‍රීඩකයන් තිදෙනාගේ කළමනාකරු ලෙස කටයුතු කරනු ලබන්නේ ක්‍රිකට් නායක ඇන්ජලෝගේ ඥාතියකු සමඟ එක්ව බවද පැවසේ.

ඔස්ටින් මැනේජ්මන්ට් ආයතනය විසින් ඇන්ජලෝ මැතිව්ස් (නායක), නිරෝෂන් දික්වැල්ල, උපුල් තරංග, අසේල ගුණරත්න, දිල්රුවන් පෙරේරා, සික්කුගේ ප්‍රසන්න, සුරංග ලක්මාල්, නුවන් කුලසේකර, දිනේෂ් චන්දිමාල් හා ලසිත් මාලිංග යන ක්‍රීඩකයන්ගේ කළමනාකාරිත්වය දරුණු ලබයි.

හිටපු නායකයනුත් චාලිගේ

ශ්‍රී ලංකා පිලේ හිටපු නායකයින් වන මහේල ජයවර්ධන හා කුමාර සංගක්කාර යන දෙදෙනාගේ කළමනාකරු ලෙස කටයුතුකරනු ලැබුවේද චාලිගේ බව කියන ඔටින් මැන්නේජ්මන්ට් පුද්ගලික සමාගමයි.

අකිලත් චාලිගෙ ද?

පසුගිය කාලයේ අකිල ධනංජයගේද කළමනාකරු ලෙස කටයුතු කරනු ලැබුවේ ඔස්ටින් මැනේජ්මන්ට් ආයතනය බව පැවසෙන අතර ඔහුගේ කළමනාකරු ලෙස මෙවර අමිල කළුගල්ගේ නැමැත්තෙකුගේ නමක් යොදා ඇති බව පැවසේ.

එසේ වෙනත් නමක් යෙදුවද ඔහුගේ සැබෑ කළමනාකරු ඔස්ටින් මැනේජ්මන්ට් බවද ශ්‍රී ලංකා ක්‍රිකට් අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

චාලිගේ මල්ලේ ක්‍රීඩකයන් දසදෙනෙකුට වඩා වැඩියෙන් සිටීම නිසා මේ උපක්‍රමය යොදා ඇතැයි පැවසේ.

මිස්ටර් ටෙන්පසන්ට්

ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගත් ශ්‍රී ලංකා පිලේ හිටපු නායකයකු වන තිලකරත්න ඩිල්ෂාන්ද මොහු සම්බන්ධයෙන් රූපවාහිනී වැඩසටහනකදී හෙළිදරව්වක් සිදු කළේය.

එම වැඩසටහනේදී ඩිල්ෂාන් මොහුගේ නම හෙළි නොකළද මේවන විට අදාළ හෙළිදරව්ව කරනු ලැබුවේ චාලි සම්බන්ධයෙන් බව ක්‍රිකට් කේෂත්‍රයේ නොදන්නා අයකු නොවන බව ශ්‍රී ලංකා මිරර් වෙත වාර්තා වේ.

එහිදී ඩිල්ෂාන් කියා සිටියේ තමා පෞද්ගලිකව කතිකාකරගත් ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රීඩක කොන්ත්‍රාත්තුවක් සම්බන්ධයෙන් කළමනාකරුවකු ඔහුගෙන් 10%ක කොමිස් මුදලක් ඉල්ලා ලිපියක් එවා තිබූ බවයි.

එය තමා විසින් පෞද්ගලිකව ගොඩනගාගත් සම්බන්ධයක් මත සිදුවූ එකක් බව පවසමින් පෙරලා තමා ඔහුට ලිපියක් යොමු කළ බව ඩිල්ෂාන් එහිදී කියා සිටියේය.

අර්ජුනත් මාෆියාව හෙළිකළා

මේ අතර, අර්ජුන රණතුංග ද අදාළ මාෆියාව සම්බන්ධයෙන් හෙළිදරව් කළ අතර කෙසේවුවද, ඔහුට මෙන්ම ක්‍රිකට් ආයතනයේ ප්‍රබල චරිතයක් වූ හිටපු ලේකම්වරයකු වන නිශාන්ත රණතුංගට ද මොහු පාලනය කිරීමට නොහැකි වූ බව ක්‍රිකට් ප්‍රවීනයන්ගේ මතය වේ.

සබැඳි පුවත්
ක්‍රිකට් ක්‍රීඩකයෝ නටන්නේ චාලිගේ පදයට ?

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top