Jul 10, 2017

ක්‍රිකට්: ශ්‍රී ලංකාව එක් දින තරගාවලිය පරාදයි (UPDATE )

ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ අතර හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ පැවති පස් වෙනි එක් දින සීමිත ඕවර තරගයේ ද ජයග්‍රහණය අත්කරගනිමින් එක් දින ශූරතාවලිය ජය ගැනීමට සිම්බාබ්වේ කණ්ඩායම සමත්විය.

සිම්බාබ්වේ ක්‍රිකට් කණ්ඩායම, ශ්‍රී ලංකාව තුළදී එක් දින ශූරතාවලියක් ජයග්‍රහණය කළ පළමු වතාව මෙයයි.

ශ්‍රී ලංකා කණ්ඩායම මීට ඉහත දී පැවති එක් දින තරග දෙකක් ජයග්‍රහණය කළ නමුත්, සූරියවැව ක්‍රීඩාංගණයේ පැවති දෙවැනි තරගයේදී ආරම්භක පිතිකරු යුවල, නිරෝෂන් දික්වැල්ල සහ ධනුෂ්ක ගුණතිලක ලෝක වාර්තාවක් පවා පිහිටුවා තිබියදී එම තරගය ද ජයගැනීමට සිම්බාබ්වේ කණ්ඩායම සමත්විය.

ශ්‍රී ලංකා කණ්ඩායම අසීරු මොහොතක:

අයිසීසී ජගත් ක්‍රිකට් පාලක මණ්ඩලයේ එක් දින ශ්‍රේණිගත කිරීම් අනුව අට වෙනි ස්ථානය දරන ශ්‍රී ලංකාව, රටවල් දොළහක් අතරින් එකොලොස් වෙනි ස්ථානය දරන සිම්බාබ්වේ කණ්ඩායමට මේ ආකාරයෙන් පරාජය වීම පිළිබඳව ක්‍රීඩා ලෝලීන්ගේ සහ ක්‍රීඩා විචාරකයන්ගේ ප්‍රබල අවධානය පළවෙමින් පවතී.

කණ්ඩායමේ ක්‍රීඩකයන් විශාල පිරිසක් එක් කළමණාකරුවෙකු විසින් මෙහෙයවනු ලැබීම අවධානයට බඳුන් වී තිබෙන එක් ප්‍රධාන කරුණක් බව ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පසුගිය සතියේ බීබීසී සිංහල සේවයට පැවසීය.

මීට ඉහත දී තරග කිහිපයක් බංග්ලාදේශයට ද පරාජයවීමෙන් අනතුරුව ශ්‍රී ලංකා ක්‍රිකට් ක්ෂේත්‍රයේ කඩා වැටීම පිළිබඳව සංවාදයක් මතුවිය.

(බීබීසී සිංහල සේවය)

-------------------------------------

සංචාරක  සිම්බාබ්වේ කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර සූරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ පැවැත්වෙන තීරණාත්මක පස්වැනි එක්දින තරඟයේ ශ්‍රීලංකා ඉනිම කඩුලු 08කදී ලකුණු 203 කට සීමා කිරීමට සිම්බාබ්වේ පන්දු යවන්නන් සමත් වුණි.

කාසිය වාසිය දිනූ සිම්බාබ්වේ කණ්ඩායමේ නායකයා පළමුව පන්දුවට පහර දීමට ශ්‍රීලංකා කණ්ඩායමට ආරාධනා කළේය.

ශ්‍රීලංකා කණ්ඩායම වෙනුවෙන් ධනුෂ්ක ගුණතිලක අර්ධ ශතකයක් වාර්තා කරමින් ලකුණු 52ක් රැස් කළේ පන්දු 86කට මුහුණ දෙමිනි.

ශ්‍රීලංකා ලකුණු පුවරුව ඉහල නැංවීම සදහා හුදෙකලා සටනක නිරත වෙමින් අගනා ඉනිමක් ක්‍රීඩා කළ අසේල ගුණරත්න නොදැවී ලකුණු 59ක් රැස් කළේය.

අසේලගේ ඉනිමට හතරේ පහර 04ක් ඇතුලත් වූ අතර ඔහු මෙම ලකුණු 59ක රැස් කලේ පන්දු 81කට මුහුණ දෙමිනි.

පසුගිය තරඟයේදී ශතකයක් රැස් කළ නිරෝෂන් දික්වැල්ල ලකුණු 03ක් ලබා සිටියදී දැවී ගියේය.

ශ්‍රීලංකා නායක ඇන්ජලෝ මැතිව්ස් පන්දු පන්දු 47කදී හතරේ පහර 04ක් සමගින් රැස්කළ ලකුණු සංඛ්‍යාව 24කි.

මෙහිදී ශ්‍රීලංකා කණ්ඩායමේ මුල්පෙළ ක්‍රීඩකයින් 06 දෙනෙකුට ලකුණු 10 සීමාව පසු කර යාමට සිම්බාබ්වේ පන්දු යවන්න් ඉඩ ලබා නොදුනි.

ඒ අනුව සිම්බාබ්වේ කණ්ඩායමට ජයග්‍රහණය සදහා ලැබී ඇති ඉලක්කය ලකුණු 204 කි.

Capture218

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top