nsb

Nov 16, 2016

කුසල් වැරදිකරු කරන්න හැදු දෝහා රසායනාගාරය තහනම් කරයි Featured

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක කුසල් ජනිත් පෙරේරාගේ තහනම් උත්තේජක චෝදනා තහවුරු කළ දෝහා කටාර් රසායනාගාරයේ සියලු පරීක්ෂණ කටයුතු ලෝක තහනම් උත්තේජක නිවාරණ ඒජන්සිය (WADA) අත්හිටුවීමට තීරණය කරයි.

මේ පිළිබඳව ඊයේ (15) දිනයේ දැනුවත්වූ බවත් එම රසායානාගාරයේ කටයුතු පරීක්ෂණයකට යටත් කොට මාස 4කට තහනම් කොට ඇති බවත් ශ්‍රී ලංකා උත්තේජක මර්දන නියෝජිත ආයතනය සභාපති මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා තහවුරු කළේය.

මේ තහනම පිළිබඳව ලොව පුරා සියලු ඔලිම්පික් කමිටු, අන්තර් ජාතික ක්‍රීඩා සංගම්, ජාතික ක්‍රීඩා අධිකාරීන් හා ක්‍රීඩාවට සම්බන්ධ පාර්ශ්ව ගණනාවක් දැනුවත් කිරීමට ලෝක තහනම් උත්තේජක නිවාරණ ඒජන්සිය කටයුතු යොදා තිබේ.

එයට අමතරව දැනට එම රසායානාගාරය සතුව ක්‍රීඩකයන්ගෙන් ලබාගෙන ඇති වෙනත් ලේ හා මූත්‍රා සාම්පල දින 14ක් ඇතුළත ලෝක තහනම් උත්තේජක නිවාරණ ඒජන්සිය අනුමත රසායනාගාරයකට සුරක්ෂිතව යොමුකරන ලෙසටද නියෝග කොට ඇත.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පසුගිය වසරේ පාකිස්තානය සමඟ පැවත්වූ තරඟාවලියේදී කුසල් ජනිත් පෙරේරා ගෙන් ලබාගන්නා ලද මූත්‍රා සාම්පලවල තහනම් උත්තේජක තිබූ බවට මේ දෝහා කටාර් රසායානාගාරය ලබාදුන් වාර්තාවක් අනුව ක්‍රීඩකයාට තාවකාලික තරග තහනමක් පැනවූ අතර විස්සයි20 ලෝක කුසලාන තරගාවලියද අහිමිවී ගියේය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට මෙන්ම කුසල් ජනිත්ට පෞද්ගලිකව දැරිමට සිදුවූ නීතිඥ සහ වෛද්‍ය පරීක්ෂණ ගාස්තු රුපියල් කෝටි තුනහමාරකට (රු 35,000,000) ආසන්න මුදලක් නැවත ලබාදීමටද ලෝක ක්‍රිකට් කවුන්සිලය විධායක කමිටුව තීරණය කොට තිබේ.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top