Sep 06, 2017

ගොල්ඩ් කෝස්ට් පළමු පදක්කම චතුරංගගෙන් !

ඔස්ට්‍රේලියාවේ ගෝල්ඩ් කෝස්ට් නගරයේදී දැන් ක්‍රියාත්මක ‍“පොදුරාජ්‍ය මණ්ඩලීය හා ඕෂානියා බර ඉසිලුම් ශූරතාවලියේ”  පළමු පදක්කම ශ්‍රී ලංකාවට හිමිකර දීමට ජේ.ඒ. චතුරංග ලක්මාල් සමත් විය.

කිලෝග්‍රෑම් 56ට අඩු බර පන්තිය යටතේ තරග කළ චතුරංග ලක්මාල් කි.ග්‍රෑ. 247ක බර එකතුවක් වාර්තා කරමින් රිදී පදක්කම දිනා ගැනීම කැපී පෙනුණි.

ස්නැච් ක්‍රමයට කි.ග්‍රෑම්. 117ක්ද ක්ලීන් ඇන්ඩ් ජර්සො ක්‍රමයට කි.ග්‍රෑම්. 130ක් ලෙස මෙම මුළු බර ප්‍රමාණය සටහන් කර ගැනීමට චතුරංග ලක්මාල්ට හැකි විය.

ස්නැච් ක්‍රමයට එසවූ කි.ග්‍රෑ. 117ක බර ප්‍රමාණය නව ශ්‍රී ලංකා වාර්තාවක් බවට පරිවර්තනය වීමද කැපී පෙනුණි. කි.ග්‍රෑ. 114ක් ලෙස පැවැති ශ්‍රී ලංකා වාර්තාව අබිබවා යමින් එම දක්ෂතාව ප්‍රදර්ශනය කිරීමට චතුරංග ලක්මාල් සමත් වීම විශේෂත්වයකි.

පසුගිය සාග් ක්‍රීඩා උළෙ‍ලේද රිදී පදක්කමට හිමිකම් කියූ චතුරංග ලක්මාල් ‍පොදු රාජ්‍ය මණ්ඩලීය බර ඉසිලීමේ තරගාවලියක දිනාගත් පළමු පදක්කමද මෙය වෙයි.

මෙම බර පන්තියේ රන් පදක්කම මැ‍ලේසියානු ජාතිකයකුට හිමි වූ අතර ඔහු ස්නැච් ක්‍රමයට කි.ග්‍රෑම්. 117ක්ද ක්ලීන් ඇන්ඩ් ජර්ක් ක්‍රමයට කි.ග්‍රෑ. 140ක්ද ලෙස කි.ගෑ 257ක බර එකතුවක් සටහන් කර ගැනීමට සමත් විය.

ඊයේ (05) කාන්තා තරග ආශ්‍රිතව කැපීපෙනුණු හංසනී ගෝමස් කි.ග්‍රෑ. 48ට අඩු බර පන්තිය යටතේ ලෝකඩ පදක්කමක් දිනා ගනිමින් ලංකාවේ පදක්කම් එකතුව 2ක් දක්වා ඉහලට ගෙනයාමට සමත් වූවාය.

ඊයේ සවස්වරුවෙහි ඇන්ටන් සුදේශ් පිරිස් (කි.ග්‍රෑ. 62ට අඩු බර පන්තිය) සහ නිලංක විරාජ්සිංහය. (කි.ග්‍රෑ. 62 අඩු බර පන්තිය) තරග කිරීමට නියමිතව සිටියහ.

ඉන්දික දිසානායක සහ චතුරිකා ප්‍රියන්ත අද (06) තරග බිමට පිවිසෙති.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top