Sep 09, 2017

රෝද හතරේ දක්ෂයාට කිරුළ නොදෙන්න දැමූ සූත්තරේ ! Featured

සංවිධායකයන්ගේ දුර්වල තරග සංවිධානය නිසා අනුරාධපුර, සාලියපුර යුධ හමුදා ධාවන පථයේදී ඉකුත්දා පැවැති ගජබා සුපර් ක්‍රොස් තරගාවලියේදී මෝටර් රථ ශුර අශාන් සිල්වාට දැඩි අසාධාරණයකට මුහුණදීමට සිදුවූ බව වාර්තා වේ.

තරගාවලියේ දක්ෂතම මෝටර් රථ රියැදුරා තෝරාගනු ලබන එස්. එල්. ජී. ටී. කාණ්ඩයේ (සිලින්ඩර් ධාරිතාව 3500 දක්වා) මෝටර් රථ ඉසව්වවෙනි.

ඒ අනුව එම තරගාවලියේ අදාළ ඉසව්වට තරගකරුවන් 16 ක් සහභාගි වීම නිසා එය ක්‍රීඩකයන් 8 දෙනා බැගින් වූ අදියර දෙකක් යටතේ පැවැත්වීමටත්, එම අදියර දෙකේ මුල් ස්ථාන ලබා ගන්නා ක්‍රීඩකයන් 4 දෙනා බැගින් තෝරාගෙන ක්‍රීඩයකන් 8 දෙනෙකුගෙන් සමන්විත අවසන් මහ තරගයක් පවත්වා ඉන් ජයගන්නා ක්‍රීඩකයා තරගාවලියේ දක්ෂතම මෝටර් රථ රියැදුරා ලෙස නම් කිරීමටත් තරග සංවිධායකයෝ කටයුතු යොදා තිබිණ.

ක්‍රීඩකයන්ට ආරම්භ ස්ථාන ලබාදීම වෙනුවෙන් තරගාවලියට පෙර දිනයේ පැවැති කාල ගණනයේදී එස්. එල්. ජී. ටී. කාණ්ඩයේ (සිලින්ඩර් ධාරිතාව 3500 දක්වා) මෝටර් රථ ඉසව්වේ හොඳම කාලය වාර්තා කරමින් එහි ඉදිරි පෙළ ආරම්භක ස්ථානයට හිමිකම් කීමට අශාන් සිල්වා සමත්ව සිටියේය.

ඒ අනුව ඔහු එම ඉසව්වේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමේ අරමුණින් එහි පළමු අදියරට සහභාගි වී තිබිණි.

වට 8 කින් සමන්විත වූ එම අදියරේ පළමු වට 6 නිමා වන තෙක්ම තරගයේ පෙරමුණ ගෙන තිබුණේ අශාන් සිල්වාය.

කෙසේවුවද, නීති විරෝධී තරග ආරම්භයක් ලබා ගත් බවට සංඥ්ඥා කරමින් 7 වැනි වටය තුළදී ඔහුව තරග ආරම්භක ස්ථානයේ තත්ත්පර 5 ක කාලයක් නවත්වා තබා නැවත තරගයට යෙමු කිරීමට සංවිධායකයෝ පියවර ගත්හ.

තරගයේ දෙවැනියා ලෙස අශාන් පසුපස හඹා ආ ඉෂ්රාක් වහබ්, අශාන්ගේ ප්‍රමාදයෙන් උපරිම ඵල නෙළාගත් අතර අශාන් පසුකර ඉදිරියට ඇදෙමින් පළමු වැනියා ලෙස තරගය නිමා කළේය.

තරග ආරම්භයේදී තමා අතින් සිදුවූ වරදට අවසන් වටයට පෙර වටයේදී දඩුවම් ලැබීම නිසා අශාන්ට එම තරගය අවසන් කළ හැකි වූයේ දෙවැනියා ලෙසිනි.

මෝටර් රථ තරගයදී නීති විරොධී ආරම්භයක් ලබාගත් ක්‍රීඩකයකුට දඬුවමක් ලෙස ඔහුව තරග ආරම්භක ස්ථානයේ තත්ත්පර 5 ක කාලයක් නවත්වා තබා නැවතත් තරගයට යොමු කිරීම සාමාන්‍ය සිරිත වුවත් මෝටර් රථ තරග නීති රීති වලට අනුව එය කළ යුත්තේ තරගයේ පළමු වට 3 තුළදීය.

එහෙත් මෙම තරගයේදී අශාන්ගේ නීති විරොධී ආරම්භයට දඬුවම් පැනවීමට සංවිධායකයන් වට 7 ක් නිමාවන තෙක් බලා සිටීම එම තරගය තුළ ද බොහෝ දෙනාගේ කතාබහට ලක්ව තිබිණි.

”මේගොල්ලන්ට ඕනේ කොහොම හරි මාව පරද්දවන්න”

තරගය අවසන් වීමෙන් පසු අශාන් සිල්වාද තරග සංවිධායකයන්ට දොස් පවරමින් මධ්‍යය වෙත පවසා සිටියේ ”මේගොල්ලන්ට ඕනේ කොහොම හරි මාව පරද්දවන්න. ඒකයි මේ වගේ දේවල් කරන්නේ.” යනුවෙනි.

මෙම තරගාවලිය සංවිධානය කර තිබුණේ ශ්‍රී ලංකා මෝටර් රථ ක්‍රීඩා රියැදුරන්ගේ සංගමය (ස්ලාඩා), ශ්‍රී ලංකා යුද හමුදාවේ ගජබා රෙජිමේන්තුව සමඟ එක්වෙමිනි.

මින් පෙර අවස්ථාවකද ආශාන් සිල්වා ස්ලාඩා ශූරතාවලියේ දක්ෂතම රියැදුරා බවට පත් වුවද, ඔහුට එරෙහිව චෝදනා ඉදිරිපත්වී ඇති බව පවසමින් දක්ෂතම රියැදුරා සඳහා වන සම්මානය ඔහු ලබානොදීමටද ශ්‍රී ලංකා මෝටර් රථ ක්‍රීඩා රියැදුරන්ගේ සංගමය කටයුතු කළේය.

පසුකලෙක අශාන් එම චෝදනා වලින් නිදහස් වුවද, මේ වන තුරුත් ඔහුට හිමි සම්මානය ඔහුට පිරිනැමීමට එම ක්‍රීඩා සමාජය පියවර ගෙන නොතිබිණ.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top