15976 BM WEB BANNER 01
Sep 23, 2017

ක්‍රිකට් ක්‍රීඩා සමාජ දෙකක් නඩු මගට ! Featured

පානදුර ක්‍රීඩා සමාජය හා කළුතර පී.සී.සී. ක්‍රීඩා සමාජය අතර ප්‍රමුඛ පෙළ ක්‍රිකට් තරගයේදී ප්‍රසාද ලකුණු ලබා ගැනීම සඳහා දෙපිලම තරග පවාදීමක නිරත වූ බවට චෝදනා කරමින් ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් දෙපිලට හා ක්‍රීඩකයන්ට ලබාදුන් දඬුවම ක්‍රිකට් පාලක මණ්ඩලයට පාරා වළල්ලක් බවට පත්වෙමින් තිබෙන බව වාර්තා වේ.

මාස හතක් මුළුල්ලේ විශේෂ කොමිසමක් මගින් සිදුකරන ලද විමර්ශනයට අනුව කරන ලද නිර්දේශයකින් ක්‍රීඩා සමාජ දෙකට රැපියල් ලක්ෂ 5 බැගින් දඩයක්, තරගයට සහභාගිවූ ක්‍රීඩකයන්ට වසරක තරග තහනමක් හා නායකයන් දෙපළට දෙවසරක තරග තහනමක් ද පනවන ලද අතර එම තරගයේ කණ්ඩායම් දෙක ලබාගත් ලකුණු ශූන්‍ය කරන ලදී.

නීතීඥයකු ඇතුළත් විමර්ශන කණ්ඩායමක් මගින් මාස හතක් මුළුල්ලේ කරන ලද මෙම පරීක්ෂණය ඒකපාර්ශවීය එකක් බව පවසන පානදුර ක්‍රීඩා සමාජය හා කළුතර පී.සී.සී. ක්‍රීඩා සමාජය මේවන විට අදාළ දඬුවම් නියෝගයට එරෙහිව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට විරුද්ධව නඩු පැවරීමට සූදානමින් සිටින බව වාර්තා වේ.

වරායඅධිකාරී ක්‍රිකට් ක්‍රීඩා සමාජය මගින් ගොනුකරන ලද පැමිණිල්ලක් මත සිදුකරන ලද මෙම පරීක්ෂණයේදී කණ්ඩායම් දෙකේ කිසිදු ක්‍රීඩකයකුගෙන් වාචික හෝ ලිඛිත සාක්ෂියක් ලබාගෙන නොමැති බව පැවසේ.

තරගය විනිශ්චය කළ විනිසුරුවන් දෙපළ හා තරග තීරකයා විසින් තරගය අතරතුර  නිකුත් කරන ලද වාර්තාව ක්‍රිකට් ආයතනයේ එක්තරා උසස් නිලධාරියකුගේ උවමනාව මත පසුව වෙනස්කර ඇති බවත්, ක්‍රීඩා සමාජ දෙකේ නිලධාරීහු චෝදනා කරති.

මීට අමතරව මෙවැනිම සිදුවීමක් ලෙස ගතහැකි වරාය අධිකාරිය හා කුරුණෑගල තරුණ ක්‍රීඩා සමාජය අතර තරගය පිළිබදව තමන් කරන ලද  පැමිණිල්ල සැලැකිල්ලට නොගෙන ඉවත දමා ඇති බවත්,  හලාවත මේරියන්ස් හා කෝල්ට්ස් අතර තරගයේදී ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රීඩකයන් නියෝජනය කළ කොල්ට්ස් පිල දෙවැනි ඉනිමේ ලකුණු 32කට දැවීයාමද සැක සහිත බවත් ක්‍රීඩා සමාජ  දෙකේ මතය වි තිබේ.

වරාය අධිකාරිය බාරව කටයුතු කළ අර්ජුන රණතුංග ඇමතිවරයාගේ බලපෑම මත ක්‍රිකට් ආයතනයේ උසස් නිලධාරියකු මුල සිටම කටයුතු කර ඇති බවත්, පරීක්ෂණ නිමවීමටත් පෙර සිටම මෙම දඬුවම ක්‍රීඩා සමාජ දෙකකට ලබාදියයුතු බවට ඔහු පාරම්බාමින් සිටි බව ක්‍රිකට් ආයතනයේ සේවකයෝ කියා සිටියහ.

අත්තනෝමතික ලෙස කටයුතු කරනු ලබන මේ නිලධාරියා ක්‍රීඩා සමාජ අතර ජනප්‍රියවීමේ අරමුණෙන් කටයුතු කිරීමට ප්‍රසිද්ධ අයකු වුද ඔහු මේවන විට ක්‍රීඩා සමාජ හා ක්‍රිකට් ආයතනය තුළ කාගේත් අප්‍රසාදයට පත් චරිතයක් බවට පත්ව තිබේ.

මෙම උසස් නිලධාරියා ක්‍රිකට් ආයතනයේ තමන් යටතේ ඇති සෑම අංශයකටම අනවශ්‍ය පරිදි ඇගිලිගැසීම් සිදුකරන අතර තරගාවලි සඳහා නිලධාරීන් පත්කිරීමේදී තමන් නියෝජනය කරනු ලබන එක්තරා ප්‍රවීනයන්ගේ ක්‍රීඩා සමාජයේ නිලධාරින්ට වැඩි සැලැකිල්ලක්  ලබාදෙන බවට ද චෝදනා එල්ලවි ඇත.

අදාළ නිලධාරියාගේ උපදෙස්මත ක්‍රියාකළ තරග කමිටුව මගින් මීට පෙර ගන්නාලද තීරණ හේතුවෙන් සෙබස්තියනයිට්ස් ක්‍රීඩා සමාජයත්, මීගමුව ක්‍රීඩා සමාජයත් නඩු මගට පිවිසීම නිසා පසුගිය වසරේ ප්‍රමුඛ පෙළ  එක්දින තරගාවලිය අධිකරණය නොමඟයවමින් ක්‍රීඩා සමාජවලට දිස්ත්‍රික් සංගම් ලේබලය අලවා පැවැත්විමට සිදුවිය.

මේ හේතුවෙන් එහි ක්‍රීඩා කළ ක්‍රීඩකයන්ට එම තරගවල ප්‍රමුඛ පෙළ මට්ටමද ලබා ගැනීමට නොහැකි විය.

යම්හෙයකින් පානදුර ක්‍රීඩා සමාජය හා කළුතර පී.සී.සී. ක්‍රීඩා සමාජය මේ සම්බන්ධයෙන් අධිකරණයෙන් වාරණ නියෝගයක් ලබාගතහොත් ලබන ඔක්තෝබර් මස ආරම්භවීමට නියමිත 2017 /18 ප්‍රමුඛ පෙළ තරගාවලියද අත්හිටුවීමට සිදුවනු ඇතැයි ක්‍රීඩකයෝ බියෙන් පසුවෙති.

මූලාශ්‍රය - සත්හඬ

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top