Nov 21, 2016

ක්‍රීඩා සමාජ 24 කට මිලියන 244ක් Featured

ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ආයතනය විසින් දේශීය ක්‍රිකට්‌ ක්‍රීඩාව නගා සිටුවීම සඳහා මෙරට තිබෙන ප්‍රධාන ක්‍රීඩා සමාජ 24 කට මිලියන 244 කට ආසන්න මුදලක්‌ බෙදාදී තිබේ.

ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ආයතනයෙන් රතු එළි නිකුත් කළ ක්‍රීඩා සමාජවලටද සියලු මුදල් ලබාදීමට ශ්‍රී ලංකා ක්‍රිකට්‌ පියවරගෙන ඇතැයි වාර්තා වේ.

මෙරට ප්‍රධානතම ක්‍රීඩා සමාජ 24 සඳහා අදාළ මුදල් ලබාදී ඇති අතර එහිදී පළමු කොටසේ සිටින ක්‍රීඩා සමාජ 14 සඳහා මිලියන 11 බැගින්ද දෙවැනි කොටසේ ක්‍රීඩා සමාජයක්‌ සඳහා මිලියන නවයක මුදලක්‌ද 2016-2017 තරගාවලිය වෙනුවෙන් ලබාදී ඇත.

‘මේ තියෙන ක්‍රීඩා සමාජ 24 සුරක්‍ෂිත කරල යටිතල පහසුකම් ලබාදෙන්න අපි කටයුතු කරනවා. නමුත් ඒ ලබාදෙන මුදල් පාලනය කරන්න සහ විගණනය කළ යුත්තේ ඒ ඒ ක්‍රීඩා සමාජයි. ක්‍රීඩා සමාජවලට ක්‍රීඩා කරන ක්‍රීඩකයන්ට ලබාදිය යුතු මුදල තීරණය කළ යුත්තෙත් ඒ අයමයි. අපිට කියන්න බැහැ අර ගාණ දෙන්න මේ ගාණ දෙන්න කියලා. අපි බෝලින් මැෂින් 24 ක්‌ දුන්නා. ලෝකයේ සිටින ඕනම දඟ පන්දු යවන්නකුට පහර දෙන්න පුලුවන් බෝලින් මැෂින් දෙකක්‌ ගේන්න කටයුතු කරනවා.” යෑයි ශ්‍රී ලංකා ක්‍රිකට්‌ සභාපති තිලංග සුමතිපාල මහතා පවසයි.

ක්‍රීඩා සමාජවලට ලබාදුන් ‘බෝලින් මැෂින්’ එකක මිල රුපියල් ලක්‍ෂ 7 ක්‌ වුවද එය රුපියල් ලක්‍ෂ පහක පමණ මුදලකට මිලදී ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ආයතනය සමත්ව තිබේ. දඟ පන්දු යවන්නන්ට පුහුණු වෙන ‘බෝලින් මැෂින්’ එකක මිල රුපියල් ලක්‍ෂ 17 ක්‌ පමණ වේ.

කෙසේ වෙතත් මීළග වාරයේදී ක්‍රීඩා සමාජවලට මුදල් ලබා දෙන විටද අදාළ ක්‍රීඩා සමාජ සියලු විගණන වාර්තා සම්පූර්ණ කළ යුතු අතර එසේ නොමැති කිසිදු ක්‍රීඩා සමාජයකට මුදල් ලබානොදෙන බවද ශ්‍රී ලංකා ක්‍රිකට්‌ සභාපතිවරයා වැඩිදුරටත් අවධාරණය කර සිටියි.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top