Oct 20, 2017

ඉහළ ඉපැයීම් නායක ලැයිස්තුවේ පස්වන තැන මැතිව්ස්ට

ලොව බොහෝ ක්‍රීඩාවල ක්‍රීඩකයන්ට සාපේක්‍ෂව ක්‍රිකට් ක්‍රීඩකයන් මූල්‍යමය අතින් කොතරම් ඉහළින් සිටිනවාද? යන්න ලංකාව වැනි ක්‍රිකට් ක්‍රීඩාවේ ජනප්‍රියත්වය හිණිපෙත්තේම ඇති රටක සිටින අපට ඇති ගැටලුවකි.එම ප්‍රශ්නයට යම් පිළිතුරක් සපයමින් මිලියන ගණනින් මුදල් ගලා එන ක්‍රිකට් ක්‍ෂේත්‍රයේ මේ වසරේ (2017) ක්‍රිකට් නායකයන් පිළිබඳව ඉන්දීය ක්‍රික්ඉන්ෆෝ වෙබ් අඩවිය අනාවරණයක් පෙරේදා සිදුකර තිබිණි. කෙසේ වෙතත් මෙයට මූලාශ්‍ර කර ඇත්තේ, ක්‍රිකට් කොන්ත්‍රාත් හා තරග ගාස්තු මගින් ඔවුන් ඉපැයූ මුදල්  ප්‍රමාණය පමණි. දැන්වීම්වලට පෙනී හිඳිමින් උපයන මුදල් සහ අනෙකුත් කොන්ත්‍රාත්වලින් හිමිවන මුදල් ගැන මෙහි දක්වා නොමැත.

මෙම සටහනට අනුව මෙම වසරේ ක්‍රිකට් ක්‍රීඩාවෙන් ඉහළින්ම උපයාගත් ක්‍රිකට් නායකයා වන්නේ ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ නායක ස්ටීවන් ස්මිත්ය. ඔහු මේ වසර තුළ කණ්ඩායමේ කොන්ත්‍රාත් මුදල් හා තරග ගාස්තු ලෙස ඇමෙරිකානු ඩොලර් මිලියන 1.47ක් (රුපියල් මිලියන 225) හිමිකරගෙන තිබිණ.එහි දෙවැනි ස්ථානය එංගලන්ත කණ්ඩායමේ නායක ජෝ රූට්ට හිමි වී ඇති අතර, ඔහු මෙම වසර තුළදී උපයාගත් සමස්ත ඉපැයීම් ප්‍රමාණය ඇ.. ඩොලර් මිලියන 1.38 (රුපියල් මිලියන 212) කි.

කෙසේ වෙතත් බොහෝ දෙනාගේ අවධානය දිනා ගත් මේ වසරේ සාර්ථකම නායකයා ලෙසින් සැලකෙන ඉන්දීය නායක විරාට් කෝලි මෙම සටහනේ තෙවැනි ස්ථානයේ පසුවන අතර, ඔහුගේ මෙම වර්ෂයේ තරගවලින් සමස්ත ඉපැයීම් ප්‍රමාණය ඇ.ඩොලර් මිලියනයකි (රුපියල් මිලියන 153.55).

මේ අතර ඇ. ඩොලර් 320,000ක ඉපැයීමක් සහිත ශ්‍රී ලංකා හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස්ට මෙම සටහනේ පස්වැනි ස්ථානය හිමිව තිබේ. එය ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි 05කට ආසන්න වේ.

සාර්ථකම නායකත්ව පස්වන තැන මැතීව්ස්ට

විවිධ හේතූන් මත මැතිව්ස් මෙම වර්ෂයේ එතරම් තරග ප්‍රමාණයකට සහභාගි වී නොමැති වුවත්, ඔහු මෙම සටහනේ පස්වැනි ස්ථානය හිමිවී තිබීම විශේෂත්වයක් වන අතර, මෙම වර්ෂයේදී මැතිව්ස් සහභාගි වී ඇති අන්තර්ජාතික තරග ප්‍රමාණය 21 කි. ඉන් 12 ක්ම එක්දින තරග වන අතර, ඉතිරි තරග ලෙස ටෙස්ට් තරග 06ක් හා විස්සයි20 තරග 03ක් ඇතුළත් වේ.
පහත සටහනේ දැක්වෙන්නේ අදාළ නායකයන් එම වර්ෂයේ සහභාගි වූ අන්තර්ජාතික තරග වෙනුවෙන් ඔහුට ලැබුණු මුදල් ප්‍රමාණය පමණක් වන අතර, එක් එක් රටවලින් සංවිධානය කරන පළමු පෙළ තරගාවලි හෝ විස්සයි20 තරගාවලිවලින් (උදා:- අයි.පී.එල් වැනි) ඔවුන්ට ලැබෙන මුදල් මෙම ගණනය කිරීම් සඳහා ඇතුළත් කර නොමැත.

ක්‍රීඩාව ධන උල්පතක්
මෙම සටහනේ අවසන් ස්ථානයේ පසුවන සිම්බාබ්වේ නායක ග්‍රැහැම් ක්‍රීමර්ද ඇ.ඩොලර් 90,000 (රුපියල් කෝටි 1.38)ක මුදලකට මෙම වසරේදී හිමිකම් කියා ඇත.මේ අතර ක්‍රිකට් ක්‍රීඩකයන් හා සැසඳීමේදී ලොව අනෙකුත් ධන උල්පත් ලෙසින් හැඳින්වෙන පාපන්දු, මෝටර් රේසිං වැනි ක්‍රීඩාවල ක්‍රීඩකයින් සාපේක්‍ෂව විශාල ඉපැයීම් ප්‍රමාණයක් සිදුකරන බව වටහාගත හැක. ලොව ජනප්‍රියම පාපන්දු ක්‍රීඩකයෙකු ලෙසින් සැලකෙන පෘතුගාලයේ ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ මෙම වසරේ තරග ගාස්තු හා කොන්ත්‍රාත් මුදල්වලින් පමණක්  ඇ.ඩොලර් මිලියන 58 (රුපියල් බිලියන 8.9) ක් හිමි කරගෙන ඇත. බ්‍රිතාන්‍යයේ ෆෝමියුලා වන් ධාවක ලුවිස් හැමිල්ටන් (ඩොලර් මිලියන 38ක්/රුපියල් බිලියන 5.8) හා ඇමෙරිකානු පැසිපන්දු ක්‍රීඩක ලීබ්‍රොන් ජේම්ස් (ඩොලර් මිලියන 31.2/ රුපියල් බිලියන 4.7) මෙම සටහනේ ඉදිරියෙන්ම සිටින ක්‍රීඩකයෝ වෙති.

මේ අතර ක්‍රිකට් ක්‍රීඩකයන් වෙනුවෙන් එක් තරගයක් වෙනුවෙන් ගෙවන මුදල් ප්‍රමාණයේ උච්ඡාවචනයන්ද මෙහි දක්වා තිබිණ.මේ වනවිට අන්තර්ජාතික ක්‍රිකට් ක්ෂේත්‍රයේ ඉහළින්ම සිටින ඉන්දියාව ටෙස්ට් හා එක්දින ක්‍රිකට් තරග වෙනුවෙන් ක්‍රීඩකයන්ට වැඩිම ගෙවීමක් සිදුකරන රට බවට පත්වී ඇති අතර, ඔවුන් ටෙස්ට් තරගයක් වෙනුවෙන් එක් ක්‍රීඩකයෙකුට ඇ.ඩො. 23.300ක (රු. ලක්‍ෂ 35.9) මුදලක්ද, එක්දින තරගයක් වෙනුවෙන් ඇ.ඩො. 9352 (රු. ලක්‍ෂ 14.3) ගෙවීම් සිදු කරනු ලබයි.

විස්සයි20 තරග වෙනුවෙන් වැඩිම ගෙවීමක් සිදු කරන රට බවට එංගලන්තය පත්වී ඇති අතර, ඔවුන් තරගයකදී ක්‍රීඩකයෙකුට ඇ.ඩො. 5284 (රු.ලක්‍ෂ 8.1)ක මුදලක් ගෙවීම් සිදුකරනු ලබයි.

මේ අතර මෙම ගෙවීම් සටහනේ ඉහළ ස්ථානයක් ශ්‍රී ලංකාවටද හිමිවී ඇති අතර ඔවුන්ට ටෙස්ට් තරගයක් වෙනුවෙන් ඇ.ඩො. 5000 (රු. ලක්‍ෂ 7.6)ක මුදලක්ද, එක්දින හා විස්සයි20තරගයක් සඳහා ඇ.ඩො. 3000 (රු. ලක්‍ෂ 4.6)ක් බැගින්ද මුදල් ප්‍රමාණයක් ගෙවීම් සිදු කරනු ලබයි.

ක්‍රීඩක ගෙවීම් ලැයිස්තුවේ ටෙස්ට් තරග වෙනුවෙන් වැඩිම ගෙවීමක් සිදු කරනු ලබන රටවල් අතර 07 වැනි ස්ථානයද, එක්දින හා විස්සයි20 තරග වෙනුවන් වැඩිම ගෙවීම් කරන රටවල් අතර 04 වැනි ස්ථානයද ශ්‍රී ලංකාවට හිමිවී ඇත.

(අද)

158

283

336

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top