Oct 28, 2017

ක්‍රීඩා නිළධාරියාගේ අපූරු සංගම් බෙදිල්ල !

පාපැදි සම්මේලනයේ නිලවරණය ඔන්න මෙන්න තිබියදී ක්‍රීඩා අමාත්‍යංශයේ නිලධාරියකු විසින් අපූරු ආකාරයකට කොළඹ, ගම්පහ හා කළුතර දිස්ත්‍රික් සංගම් සඳහා ක්‍රීඩා සමාජ බෙදාදීමේ සිද්ධියක් වාර්තා වේ.

කොළඹ, ගම්පහ හා කළුතර දිස්ත්‍රික් පාපැදි සංගම්වලට දෙපාර්ශවයක් අයිතිවාසිකම් කී අතර මෙය විශාල ගැටලුවක් බවට පත්වීමෙන් පසුව සිද්ධිය ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා දක්වාම ගියේය.

පසුව ක්‍රීඩා ඇමතිවරයා අදාළ සංගම්වල ගැටලුව විසඳීමට නිලධාරියකු පත් කළේය.

කොළඹ පාපැදි සංගමය සෑදී ඇත්තේ පැරගන් පෙඩ්ල්ස්, පහන් සිළු, ස්ප්‍රින්ට් හා වින්ග්වීල් යන ක්‍රීඩා සමාජ හතරෙනි. ඒ අතරින් පැරගන් හා පහන් සිළු ක්‍රීඩා සමාජ කොළඹ පා පැදි සංගමය බී.ජේ.සුමනසේකර මහතාට හිමි බව කියා සිටියේය.

ඔවුන් එසේ කියද්දී ස්ප්‍රින්ට් හා වින්ග්වීල් ක්‍රීඩා සමාජ කොළඹ පාපැදි සංගමයේ අයිතිකාරයා අශෝක් කුමාර් බවට තර්ක කළේය.

ස්ප්‍රින්ට් හැර අනෙක් ක්‍රීඩා සමාජ ත්‍රිත්වයටම බලපත්‍රලාභී ක්‍රීඩකයෝ සිටින අතර ස්ප්‍රින්ට් පසුගිය කාලේ සිය පාපැදි කරුවන් වෙනුවෙන් කර ඇත්තේ වැඩමුළුවක් පැවැත්වීම පමණකි. තත්ත්වය එසේවෙද්දී අදාළ නිලධාරියා මේ කාරණා තුට්ටුවකට මායිම් නොකර කොළඹ දිස්ත්‍රික් සංගමයේ හිමිකාරිත්වය අශෝක් කුමාරට පවරා දී තිබිණි. ඒ අනුව මීළඟ පාපැදි නිලවරණයේදී අශෝක්ගේ පාර්ශවයට ජන්ද 09ක් හිමි වූ අතර සුමනසේකර පාර්ශවයට ඡන්ද 06ක් හිමිවිය.

ගම්පහ තත්ත්වයද මේ හා සමානය. ගම්පහ පාපැදි සංගමය සෑදී ඇත්තේද ද ෆෙරෙන්ඩ්ස්, ෆලයින් විල්, තින්දරා හා කැලණි යන පාපැදි ක්‍රීඩා සමාජ හතරෙනි. කෙසේවුවද එම පාපැදි සංගමය තලීන් අධිකාරිආරච්චිට හිමි බව කැලණි පාපැදි සංගමය පමණක් කියද්දී සෙසු සංගම් තුනම පැවසුවේ එය හිමි සුමිත් බාලසුරියට බවයි, ක්‍රීඩා අමාත්‍යංශ නිලධාරියා මෙහි බලයද ලබා දුන්නේ එක් පාපැදි සංගමයක පමණක් මනාපය ඇති තලීන්ටය. ඒ අනුව තලින්ට ඡන්ද 09ක් හිමිවෙද්දී ප්‍රතිවාදී පාර්ශවයට හිමිවූයේ ඡන්ද 06ක් පමණි.

කළුතර පා පැදි සංගමය සැකසී ඇත්තේ ශ්‍රී ලංකා ජර්මන් මිත්‍රත්ව, සුපර් බේරු හා ස්පීඩ් ඇරෝ යන ක්‍රීඩා සමාජ තුනෙනි. සුදෙශ් සිල්වාට කළුතර දිස්ත්‍රික් පාපැදි සංගමය හිමිවිය යුතු බව කියා සිටියේ ශ්‍රී ලංකා ජර්මන් මිත්‍රත්ව ක්‍රීඩා සාමාජය පමණකි. සෙසු ක්‍රීඩා සාමජ දෙකම එය හිමිවිය යුත්තේ අනිල් රත්නසිරිට බව පැවසුවද ක්‍රීඩා අමාත්‍යංශ නිලධාරියා එය ලබාදුන්නේ සුදේශ් සිල්වාටය.

මේ සම්බන්ධයෙන් අප ක්‍රීඩා අමාත්‍යංශයේ ඉහල නිලධාරියකුගෙන් කළ විමසීමකදී අදාළ ක්‍රීඩා සමාජ මෙහි අසාධාරණයක් ඇති බව පැවසීමෙන් පසුව ක්‍රීඩා අමාත්‍යවරයා මේ සම්බන්ධයෙන් සොයා බලා පිළියම් යෙදීමට මිල්ටන් අමරසිංහ මහතාට පවරා ඇති බව කීය.

කෙසේවුවද, එසේ නිලධාරියකු අදාළ තත්ත්වයන් සොයා බැලීමට පත්කළද කලින් නිලධාරියාගේ තීන්දුව මෙතෙක් බලරහිත කර නොමැති බවද පැවසේ.

- ප්‍රසාද් සේනාධීර

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top