Nov 02, 2017

ඇඬුවට වැඩක් නෑ,,දක්ෂතා හදාගන්න - දයාසිරි නිලූකාට කියයි

නියමිත පරිසාධන මට්ටමට ළඟාවන තෙක් මැරතන් ධාවන ශූරී නිලූකා ගීතානි රාජසේකරට විදෙස් තරග සංචාර ලබාදිය නොහැකි බව ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර පවසයි.

අමාත්‍යවරයා ඒ බව සඳහන් කළේ ඊයේ (1දා) පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදීය. මළල ක්‍රීඩිකා නිලූකා ගීතානි රාජසේකර ක්‍රීඩා සංචිතයට ඇතුළත් නොකිරීම සම්බන්ධයෙන් මේ දිනවල සමාජජාලවල පළවන වීඩියෝ පටයක් සම්බන්ධයෙන් විමසූ අවස්ථාවේදී ක්‍රීඩා අමාත්‍යවරයා එසේ පැවැසීය.

එහිදී ක්‍රීඩා අමාත්‍යවරයා පසුගිය ජූලි මාසය දක්වාම එම ක්‍රීඩිකාවට මාසයකට රුපියල් හැටදහස (60,000) බැගින් ගෙවන ලද බව ද කීවේය. පැය 2 විනාඩි 39ක පරිසාධන මට්ටමක් පොදු රාජ්‍ය මණ්ඩලයීය තරගවලට සහභාගි වීමට අවශ්‍ය වුවද ඇයට එම තත්ත්වයට ළගා වීමට නොහැකි වී ඇති බවද හෙතෙම පැවැසුවේය. ගීතානිට වඩා ඉදිරියට පැමිණි හිරුණි විජේරත්න හෝ පොදු රාජ්‍ය මණ්ඩලයීය තරගයට සහභාගි කිරීමට අවකාශ නැති බව පැවැසූ ඇමැතිවරයා නමුත් ඇය හඬා නොවැටෙන බවද කීවේය.

නිලූකා ගීතානි රාජසේකරගේ පුහුණුකරුවා වන්නේ ඇයගේ ස්වාමි පුරුෂයා බව පැවැසූ ජයසේකර මහතා එවැනි අවස්ථාවලදී ලැබෙන මුදල් සැමියාට හා බිරියට බෙදා ගත හැකි බවද කීවේය.චීනයේ පැවැත්වෙන ආසියානු මැරතන් ශූරතාව සඳහා ඇය සමඟ පුහුණුකරු ලෙස ස්වාමිපුරුෂයාටද සහභාගිවීමට අවශ්‍ය පහසුකම් සැලසීමට කටයුතු කළ බවද ජයසේකර මහතා කීය.

ඇයට වෙනත් පුහුණුකරුවකු සමඟ ප්‍රශ්නයක් තිබුණත් එය තමන්ට අදාළ ප්‍රශ්නයක් නොවන බවද සඳහන් කළ ඇමැතිවරයා පරිසාධන මට්ටම සපුරා නොමැති ක්‍රීඩක ක්‍රීඩිකාවන් බලහත්කාරයෙන් තරගවලට ඇතුළු කිරීමට නොහැකි බවද කීවේය.

දක්ෂතා ඉදිරියට ගෙන නොයා පාරවල් දිගේ අඬ අඬා සිටීමෙන් පලක් නොමැති බවත් තවත් දක්ෂ ක්‍රීඩිකාවන් පිරිසක් සිටින බවද පැවැසූ ක්‍රීඩා අමාත්‍යවරයා රියෝ ඔලිම්පික් උළෙලේදී ශ්‍රී ලංකාවට හෙණ ගැසිය යුතු බවට නිලූකා ගීතානි රාජසේකර ප්‍රකාශයක් කළ බවටද චෝදනා කළේය.

වීඩියෝ අනුග්‍රහය- හිරු ගොසිප්

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top