Nov 05, 2017

අසේල හා කුසල් එක්දින තරගාවලියට Featured

ලබන දෙසැම්බර් 10 වැනිදා ආරම්භවීමට නියමිත ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ ඉන්දීය සංචාරයේ ටෙස්ට් තරගාවලිය පැවැත්වෙන අතර තුර ආබාධවලට ලක්ව සිටින අසේල ගුණරත්න හා කුසල් ජනිත් සුවය ලැබුවහොත් එහි එක්දින හා පන්දුවාර විස්සයි - 20 තරගවලට එක් කිරීහට තේරීම්කමිටුව උත්සාහගනිමින් සිටින බව වාර්තා වේ.

පසුගිය ජූලි මාසයේ ඉන්දීය පිලේ ශ්‍රී ලංකා සංචාරයේදී ඉන්දියාවට එරෙහිව ගාල්ලේදී පැවැති පළමු ටෙස්ට් තරගයේ පන්දු රකිමින් සිටියදී අසේල වම් අතේ මහපටැඟිල්ලේ අස්ථි පිපිරීමකින් ආබාධයට ලක්විය.

ඒ හේතුවෙන් අසේලට ඉන්දියාවට එරෙහිව සම්පූර්ණ තරගාවලිය සහ පාකිස්තානු සංචාරය අහිමිවිය.

අසේල මේ වන විට පුහුණුවීම් ආරම්භ කර ඇති අතර ඔහු පුහුණු සැසිවලදී පන්දු යැවීමේ නිරතව වුවද පසුගිය බ්‍රහස්පතින්දා දක්වා පන්දුවට පහරදීමේ පුහුණුවීම් ආරම්භ කර නොතිබූ බවද ක්‍රිකට් පිලේ අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

දකුණතින් මඳ වේග පන්දු යවන 31 හැවිරිදි අසේල ටෙස්ට් තරග 6කදී ශතකයක් සහ අර්ධ ශතක තුනක් සමගින් සාමාන්‍ය 56.87ක් රඳවා ගනිමින් ලකුණු 455ක් රැස්කිරීමට සමත්ව සිටියි.

එසේම ඔහු එක්දින තරග 21කදී ශතකයක් සහ අර්ධ ශතකයක් සමගින් ලකුණු 472 ක් රැස්කරමින් කඩුලු 18ක් දවා ගැනීමට සමත්ව සිටියි.

කඩුලු රකින ක්‍රීඩක සහ ප්‍රවේගකාරී පිතිකරු කුසල් ජනිත් පෙරේරා, ඉන්දියාවට එරෙහිව ටෙස්ට් තරගාවලියේ සිට ක්‍රීඩා කරවීමට ශ්‍රී ලංකා පිලේ බලධාරීන් බලා පොරොත්තු දල්වාගෙන සිටියද ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා අනුමැතිය යෝග්‍යතා සහතිකය අනිවාර්ය කිරීම නිසා ඒ බලාපොරොත්තු පසු බැස අතැයි පැවසේ.

කෙසේවුවද, ඉන්දීය එක්දින තරගාවලියේදී කුසල් නැවතත් කඩුලු රකින්නා ලෙස කටයුතු කිරීමට පුහුණුවීම්වල නිරත වන බව වාර්තා වේ.

එංගලන්තයේදී පැවැති ශූරයන්ගේ කුසලාන තරගාවලියේදී ආබාධයකට ලක්වීම නිසා කුසල්ට සිම්බාබ්වේ, ඉන්දීය සහ පාකිස්තානු යන සංචාර තුනම අහිමිවිය.

ඉන්දියාවට එරෙහිව තරග තුනකින් සමන්විත ටෙස්ට් තරගාවලිය මේ මස 16 වැනිදා කොල්කටාහිදී ආරම්භ වීමට නියමිතය.

මේ අතර, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරි ඈෂ්ලි ද සිල්වා මහතා පවසන්නේ ඇන්ජලෝ සහ කුසල් පෙරේරා යන දෙදෙනාම ඉන්දීය සංචාරය සඳහා තෝරා ගැනීමට තේරීම් කමිටුව සලකා බලනු ඇති බවයි.

එසේම අසේල ගුණරත්න ද සුව අතට හැරී සිටින බවද පවසන ඔහු ශ්‍රී ලංකා පිල එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී දුර්ලභ ටෙස්ට් ජයග්‍රහණයක් අත්කර ගැනීමට සමත්වුවද, ඔවුන් පසුගිය එක්දින තරග 16කදීම පිට පිටපිටම පරාජයට පත්වූ බවද ඈෂ්ලි කියයි. ඒ අතර එක්දින හා පන්දුවාර විස්සයි - 20 සියළුම තරග පරාජය වූ තරගාවලි ද ඇතැයි ඔහු කියා සිටී.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top