Nov 08, 2017

දැල්පන්දු පුහුණුකාරිනි තනතුර තිලකාට

ජාතික දැල්පන්දු පුහුණුකාරිනිය ලෙස බෘනෙයි දැල්පන්දු කණ්ඩායමේ වත්මන් ජාතික පුහුණුකාරිනිය ලෙස කටයුතු කරන තිලකා ජිනදාස මහත්මිය පත්කරගෙන ඇතැයි නිල නොවන ආරංචි මාර්ග අනාවරණය කළේය.

මේ වනවිට අදාළ නාමයෝජනාව ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතියට යොමු කර ඇති අතර, දැල්පන්දු පුහුණුකාරිනිය තෝරාගැනීමේ සම්මුඛ පරීක්‍ෂණ ජාතික ක්‍රීඩා විද්‍යායතනයේදී ත්‍රිපුද්ගල මඩුල්ලක් හමුවේ ඊයේ (07දා) පැවැත්විණි.

කෙසේ වෙතත් මෙම තනතුර ලබාගැනීම සඳහා හිටපු ශ්‍රී ලංකා ජාතික දැල්පන්දු පුහුණුකාරිනී හයසින්ත් විජේසිංහ සහ තිලකා ජිනදාස යන අයදුම්කරුවන් අතර ද්විත්ව සටනක් නිර්මාණය වී තිබුණු අතර, පසුගිය වසර 5-10ත් ඇතුළත දැක්වූ දේශීය සහ විදේශීය දක්‍ෂතා පදනම් කරගනිමින් මෙම තෝරාගැනීම සිදු කර ඇතැයි අනාවරණය වේ.

ජාතික දැල්පන්දු පුහුණුකරු තෝරාගැනීමට අදාළ සම්මුඛ සාකච්ඡා මෙහෙයවීමේ නිලධාරී මඬුල්ලට (Panel) සාමාජිකයන් තිදෙනෙක් අයත්ව සිටි අතර, ඊට දැල්පන්දු සභාපතිනි ට්‍රික්සි නානායක්කාර, විමලා ජයවීර සහ වෛද්‍ය ලක්‍ෂ්මන් එදිරිසිංහ යන මහත්ම මහත්මීහු ඇතුළත් වූහ. ක්‍රීඩා අමාත්‍යාංශය නියෝජනය කරමින් නිරීක්‍ෂකයෙක් ලෙස ඊට සහභාගි වූයේ සජිත් ජයලාල් මහතාය.

හිටපු ශ්‍රී ලංකා ජාතික දැල්පන්දු පුහුණුකාරිනී හයසින්ත් විජේසිංහ සහ සොමිතා ද අල්විස් යන අයදුම්කරුවන් සම්මුඛ පරීක්‍ෂණයට පැමිණ සිටි අතර, මේ වනවිට විදෙස්ගතව සිටින බ_නායි ජාතික දැල්පන්දු කණ්ඩායමේ වත්මන් පුහුණුකාරිනී තිලකා ජිනදාස සම්මුඛ පරීක්‍ෂණයට එක්ව තිබුණේ ස්කයිප් තාක්‍ෂණය ඔස්සේය.

කෙසේ වෙතත් මෙම තනතුරට අයදුම් කර තිබූ ශ්‍රී ලංකා යොවුන් දැල්පන්දු කණ්ඩායමේ සහාය පුහුණුකාරීනී අමල්කා ගුණතිලක සම්මුඛ පරීක්‍ෂණයට එක්ව නොසිටි බවට වාර්තා වේ.

මෙම තනතුරට අදාළ සම්මුඛ පරීක්ෂණ පසුගිය සැප්තැම්බර් මස 29 වැනිදා පැවැත්වීමට නියමිතව තිබුණු අතර, එය දින නියමයක් නොමැතිව කල් දැමීමට සිදු වූයේ පුහුණුකාරිනිය තෝරාගැනීම සඳහා නිර්දේශ (Criteria) ක්‍රීඩා අමාත්‍යාංශය වෙත යොමු කර නොතිබූ හෙයිනි. පසුව ඒ සඳහා සැකසූ අදාළ නිර්දේශ ක්‍රීඩා අමාත්‍යවරයාට මෙන්ම ක්‍රීඩා අමාත්‍යාංශයටද යොමු කර අනුමැතිය ලබාගැනීමට ජාතික දැල්පන්දු සංගමය පියවර ගෙන තිබුණි. ඒ අනුව පුහුණුකරු තෝරා ගැනීම ඊයේ දිනයේදී සිදුකෙරිණි.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top