15976 BM WEB BANNER 01
Nov 28, 2017

ශ්‍රී ලංකාවේ පරාජය ඉතිහාසගත වෙයි

ඉන්දියාව සමඟ නාග්පුර් හී පැවැති දෙවැනි ටෙස්‌ට්‌ ක්‍රිකට්‌ තරගයෙන් ශ්‍රී ලංකාව ඊයේ (27 දා) ඉනිමක සහ ලකුණු 239 ක් ලෙස පරාජයට පත්විය.

ඒ අනුව තරග තුනකින් සමන්විත ටෙස්‌ට්‌ තරගාවලිය 1-0 ක්‌ ලෙස ඉන්දියානුවන් පෙරමුණ ගැනීමට සමත් විය.

අදාළ පරාජය ශ්‍රී ලංකාව ටෙස්‌ට්‌ ක්‍රිකට්‌ ඉතිහාසයේ ලද දැවැන්තම පරාජය බවට පත්වෙද්දී ඉන්දියානුවන්ගේ විශාලතම ටෙස්‌ට්‌ ජය ලෙස එය සටහන් විය.

මීට පෙර ශ්‍රී ලංකාව ඉන්දියාව හමුවේදී 2001 දී ඉනිමක සහ ලකුණු 229 කින් දැවැන්තම පරාජය ලබා තිබුණි. 1993 දී දකුණු අප්‍රිකාව හමුවේ ඉනිමක සහ ලකුණු 208 කින්ද 2012 වසරේදී ඕස්‌ට්‍රේලියාවට එරෙහිව ඉනිමක සහ ලකුණු 201 කින්ද ශ්‍රී ලංකාව පරාජය වූ දරුණුතම පරාජයන් ලෙස වාර්තා වේ. 1982 සිට ශ්‍රී ලංකාව සහභාගි වූ ටෙස්‌ට්‌ තරග 266 කදී ලද සිය වැනි පරාජයද මෙය වූ අතර එහිදී ජය ලබා ඇති ජයග්‍රහණ සංඛ්‍යාව 84කි.

ශ්‍රී ලංකා දෙවැනි ඉනිම විනාශ කර දැමීමට ඉන්දියානු පන්දු යවන්නන්ට වැය වූයේ පැය තුනකටත් අඩු කාලයකි. තමන්ගේ රාජකාරිය කුමක්‌ද යන්න නොදන්නා ආධුනිකයන් මෙන් පිති හැසිරවූ ශ්‍රී ලංකා පිලේ කඩුලු හතක්‌ ඊයේ දිවා ආහාරයට ප්‍රථම පැය දෙකක කාලයේදී බිඳ වැටුණි. අනතුරුව දිවා ආහාරයෙන් පසුව යවන ලද පන්දු ඕවර අටක්‌ තුළදී ශ්‍රී ලංකා සමස්‌ත ඉනිම විනාශ වෙද්දී දරුණුතම පරාජයේ කළු පැල්ලම පමණක්‌ ශ්‍රී ලංකාවට ඉතිරිව වූයේ තවත් දිනයක්‌ ඉතිරිව තිබියදීය.

වසරක්‌ තුළ ශ්‍රී ලංකාව ටෙස්‌ට්‌ තරග හතක්‌ පරාජය වූ දෙවැනි අවස්‌ථාවද මෙය වේ. මීට පෙර 2005 දීත් ශ්‍රී ලංකාව ටෙස්‌ට්‌ තරග හතක්‌ පරාජය වී ඇත.

පන්දු ඕවර 128.4 ක්‌ තුළදී ශ්‍රී ලංකාවේ කඩුලු විස්‌සම අහිමි කිරීමට ඉන්දියානු පන්දු යවන්නන් සමත් වෙද්දී රවීචන්ද්‍රන් අශ්වින් වේගවත්ම ටෙස්‌ට්‌ කඩුලු තුන්සියයේ හිමිකරුවා බවට පත්විය. අශ්වින් සිය 54 වැනි ටෙස්‌ට්‌ තරගයේදී අදාළ කඩඉම පසු කර යැමට සමත් වෙද්දී ඕස්‌ට්‍රේලියාවේ ඩෙනිස්‌ ලීලි 1980 දශකයේ තරග 56 කදී ලබාගත් වේගවත්ම කඩුලු තුන්සියය දෙවැනි තැනට පත්විය. අදාළ ලැයිස්‌තුවේ තෙවැනි තැන ශ්‍රී ලංකාවේ මුත්තයියා මුරලිදරන්ට හිමිව තිබෙන අතර ඔහු තරග 58 කදී තුන්සිය වැනි කඩුල්ල ඩැහැ ගත්තේය.

ඉනිමක පරාජයෙන් ගැලවීමට ලකුණු 444 ක ඉලක්‌කය හිමිව තිබියදී ශ්‍රී ලංකා පිතිකරුවෝ දැක්‌වූ පිති ප්‍රහාරය හාස්‍යයට ලක්‌විය. දිනේෂ් චන්දිමාල් පමණක්‌ අර්ධ ශතකයක්‌ වාර්තා කළ අතර ඔහු පළමු ඉනිමේදී ද අර්ධ ශතකයක්‌ ලබා ගැනීමට සමත් විය. සුරංග ලක්‌මාල් පසුපෙළින් පැමිණ නොදැවී ලකුණු 31 ක්‌ ලබා නොගන්නට ශ්‍රී ලංකාවේ පරාජයේ බර මීටත් වඩා වැඩි වීමට ඉඩ තිබුණි. පස්‌වැනි ද්විත්ව ශතකය වාර්තා කරගත් ඉන්දියානු නායක විරාට්‌ කෝලි තරගයේ වීරයා සම්මානයෙන් පිදුම් ලැබීය.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top