15976 BM WEB BANNER 01
Dec 12, 2016

ට්‍රම්ප්, ‘වන් චයිනා’ ප්‍රතිපත්තිය ප්‍රශ්ණ කරයි

ඇමෙරිකාව විසින් දශක ගණනාවක් පුරාවට ගරු කරනු ලැබූ මහජන චීන ජනරජයේ ‘වන් චයිනා’ ප්‍රතිපත්තිය ඉදිරියටත් ක්‍රියාත්මක විය යුතු ද යන්න පිළිබඳව ඇමෙරිකාවේ මීළඟ ජනාධිපතිවරයා ලෙස තේරී පත්වුනු ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රශ්ණ කර තිබේ.

ෆොක්ස් නිවුස් සේවය සමග සම්මුඛ සාකච්ඡාවකදී ඔහු මේ බව පවසා තිබේ.

වෙළඳාම වැනි වෙනත් දෑ සම්බන්ධයෙන් චීනය සමග ගිවිසුමකට එළැඹුනොත් හැර මෙම ‘වන් චයිනා’ ප්‍රතිපත්තියට ඉදිරියේදීත් ඇමෙරිකාව බැඳී සිටිය යුත්තේ ඇයිදැයි තමා නොදන්නා බව ට්‍රම්ප් මෙහිදී පවසා තිබේ.

චීනයේ මුදල්, උ. කොරියාව හෝ දකුණු චීන මුහුදේ ඇතිව තිබෙන තත්ත්වය සම්බන්ධයෙන් චීනය ද ඇමෙරිකාවට සහය ලබාදී නැති බව ඔහු වැඩිදුරටත් පවසා ඇත.

මහජන චීන ජනරජයෙන් තායිවානය කැඩී යාමත් සමග චීනය ලෙස හඳන්වාගන්නා රජයන් පැවතියත් ඇත්තේ එක් චීනයක් බව පැවසෙන ප්‍රතිපත්තිය ‘වන් චයිනා’ ප්‍රතිපත්තිය ලෙස හැඳන්වේ. මේ අනුව, ප්‍රතිපත්තියක් වශයෙන් මහජන චීන ජනරජය හා තානාපති සබඳතා පවත්වන රටවල් තායිවානය හෙවත් චීන සමූහාණ්ඩුව සමග නිල සබඳතා පැවත්වීම නොකෙරන අතර, තායිවානය හා තානාපති සබඳතා පවත්වන රටවල් චීන ජනරජය හා නිල සබඳතා නොපවත්වයි.

ඇමෙරිකාව විසින් 1979 සිට තායිවානය සම්බන්ධ මහජන චීන ජනරජයේ ප්‍රතිපත්තියට ගරු කරන නමුත්, පසුගියදා තායිවානු ජනාධිපතිවරියගෙන් ලැබුණු දුරකථන ඇමතුමකට ට්‍රම්ප් පිළිතුරු දීමත් සමග ඇමෙරිකාව හා මහජන චීන ජනරජයේ සබඳතා තරමක් පීඩනයකට ලක්ව ඇතැයි විදෙස් වාර්තා වල දැක්වේ.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top