15976 BM WEB BANNER 01
Jan 21, 2017

ජනපති ට්‍රම්ප් දිවුරුම් දෙයි : ප්‍රදේශ කිහිපයක විරෝධතා

ඇමෙරිකාවේ 45 වෙනි ජනාධිපතිවරයා වශයෙන් ඩොනල්ඩ් ජෝන් ට්‍රම්ප් අගවිනිසුරු ජෝන් රොබට්ස් ඉදිරියේ දිවුරුම් දුන්නේය.

ශ්‍රී ලංකාවේ වේලාවෙන් ඊයේ රාත්‍රී 10.30ට පමණ මෙම දිවුරුම් දීම සිදුවිය.

"සුභ පැතුම්, ජනාධිපතිතුමනි," අගවිනිසුරු රොබට්ස් පැවසීමත් සමග උත්සවය නැරඹීමට රැස්ව සිටි මහජනකාය ප්‍රීති ඝෝෂා නැගූහ.

ඉන් අනතුරුව උත්සවය ඇමතූ නව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් "වොෂින්ටනයේ සිට මහජනතාව වෙත බලය පවරාදෙන" බවට ප්‍රතිඥා දුන්නේය.

ජාත්‍යන්තරය තුළ අමෙරිකාව ඉහළම ස්ථානයකට ඔසවා තැබීමට කටයුතු කරන බවත්,  සියලූ තීරණ ගන්නේ අමෙරිකාව පළමු ස්ථානයේ තබමින් බවත් ඔහු අවධාරණය කළේය.

"රැඩිකල් ඉස්ලාමීය ත්‍රස්තවාදයට" එරෙහිව ශිෂ්ඨ සම්පන්න ලෝකය එකමුතු කරන බවට ප්‍රතිඥා දුන් නව ජනාධිපතිවරයා, එය ලෝකයෙන් "අතුගා දමන" බවටද සපථ කළේය.

හිටපු ජනාධිපති බිල් ක්ලින්ටන් සහ ඔහුගේ භාර්යාව වන හිලරි ක්ලින්ටන් ඇතුළු හිටපු ජනාධිපතිවරුන් සහ ඔවුන්ගේ භාර්යාවන්ද පදවි ප්‍රාප්ති උත්සවයට සහභාගි වී සිටියහ.

එයට පෙර ඔහුගේ උප ජනාධිපති මයික් පෙන්ස් නව පදවියේ දිවුරුම් දුන්නේය.

ප්‍රදේශ කිහිපයක උද්ඝෝෂණ :

මේ අතර ඩොනල්ඩ් ට්‍රම්ප්ට විරෝධය දක්වමින් අමෙරිකාවේ ප්‍රදේශ කිහිපයක උද්ඝෝෂණ පැවති බව වාර්තාවේ.

උද්ඝෝෂකයින් සහ පොලිසිය අතර ගැටුම් ඇති වී තිඛෙන බව සී.එන්.එන්. ප්‍රවෘත්ති සේවය පවසයි. මෙම ගැටුම්වලින් පොලිස් නිලධාරීන් අවම වශයෙන් 6 දෙනෙකු තුවාල ලබා ඇත.

ගොඩනැගිලිවලට සහ වාහනවලට ද උද්ඝෝෂකයින් විසින් අලාභ සිදුකර ඇති බව සී.එන්.එන්. ප්‍රවෘත්ති සේවය වැඩිදුරටත් කියා සිටියි.

 කළහකාරීව හැසිරුණු උද්ඝෝෂකයින් අත්අඩංගුවට ගැනීමට පොලිසිය ක්‍රියා කරමින් සිටින අතර මේ වන විටත් අත්අඩංගුවට ගෙන ඇති පිරිස 200කට වැඩි බව වාර්තාවේ.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top