nsb

Feb 16, 2017

වෙනිසියුලාව, CNN තහනම් කරයි

ඇමෙරිකාවේ සී එන් එන් පුවත් සේවයේ ස්පාඤ්ඤ බසින් සිදුකෙරෙන නාලිකාවේ විකාශන කටයුතු වහාම නවතා දමන ලෙස වෙනිසියුලානු බලධාරීන් නියෝග කර ඇතැයි වාර්තා වේ.

මෙම රූපවාහිනි නාලිකාව විසින් වෙනිසියුලාවේ සාමය හා ප්‍රජාතාන්ත්‍රික ස්ථාවරත්වය අනතුරේ හෙළීමට උත්සහ කර ඇතැයි චෝදනා කරමින් එරට විදුලි සංදේශ කොමිසම විසින් මෙම නියෝගය සිදුකර තිබේ.

ඉරාකයේ පිහිටි වෙනිසියුලානු තානාපති කාර්යාලයේ සිදුවූ බවට පැවසෙන විදේශ ගමන් බලපත්‍ර වංචාවක් සම්බන්ධයෙන් සී එන් එන් පුවත් සේවය විකාශය කළ වාර්තාවක් මීට හේතුවී ඇතැයි පැවසේ. කෙසේවෙතත්, හේතුව මෙය බව එරට විදුලි සංදේශ කොමිසම නිශ්චිත ලෙස ප්‍රකාශ කර නැත.

මෙම පුවත් වාර්තාව විකාශය කර තිබුනේ වසරක පමණ ගවේෂණයකින් පසුව වන අතර, ඉරාකයේ විවිධ පුද්ගලයන්ට වෙනිසියුලානු විදේශ ගමන් බලපත්‍ර හා වීසා බලපත්‍ර මුදල් වලට විකුණා ඇති බවට එල්ල වී තිබුණු චෝදනා පිළිබඳව මෙම ගවේෂණයෙන් සොයාබලා තිබුණි. මෙලෙස මෙම ලියකියවිලි ලබාගෙන ඇති ඇතැම් පුද්ගලයන් ත්‍රස්ත කණ්ඩායම් සමග ද සබඳතා ඇතැයි පැවසේ.

මෙම ගණුදෙනුවට වෙනිසියුලානු උප ජනාධිපති ටරෙක් එල් අයිසාමි ඍජුව සම්බන්ධ වී ඇතැයි මෙම පුවත් වාර්තාවෙන් චෝදනා නගා තිබුණි.

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top