nsb

Apr 17, 2017

තුර්කියේ "ඔව්" මතයට විපක්ෂයෙන් අභියෝගයක්

තුර්කියේ පැවති ජනමත විචාරණයේ ප්‍රථිඵලය අභියෝගයට ලක්කරන බව එරට ප්‍රධාන විපක්‍ෂ කණ්ඩායම පවසයි.

සිය බලය වැඩිකරගැනීමේ වරම් හිමිකරගැනීමට පැවැත්වුණු මෙම ජනමත විචාරණයෙන් තුර්කියේ ජනපති රිචේප් තයිප් එර්දොගාන් ලද ජයග්‍රහණයෙන් පසුව එරට විපක්ෂය විසින් මෙලෙස පවසා තිබේ.  

එම වරමට අනුව කෙරෙන ව්‍යවස්ථා සංශෝධනය හරහා පවතින පාර්ලිමේන්තු ක්‍රමය වෙනුවට විධායක ජනපති ධුරය ආදේශ කිරීම තුළින් රට නවීකරණයවනු ඇති බව එර්දොගාන් ආධාරකරුවෝ පවසති.

ප්‍රකාශිත ඡන්දවලින් 99%ක ගණන් කිරීම්වලදී 51.36%ක් "ඔව්" යන්නටද 48.64%ක "නැහැ" යන්නටද හිමිවී තිබිණි.

තුර්කියේ ප්‍රධාන නගරවල එර්දොගාන්ගේ ආධාරකරුවන් රැස්වෙද්දී විරුද්ධ මත දරන්නන් ඉවුම් පිහුම් භාජන එකිනෙක ඝට්ටනය කරමින් හඬ නැගුවේ විරෝධය පළකිරීමේ සම්ප්‍රදායික පිළිවෙත අනුවය.

ජනමත විචාරණයේ "ඔව්" යන පිළිතුරට ඇති චන්දය තහවුරු වීම තුළින් ජනාධිපති එර්දොගාන් වසර 2029 තෙක් බලයේ සිටිනු ඇති බව ද කියවේ.

කෙසේවෙතත්, නුතන තුර්කියේ විශාලතම දේශපාලනික ප්‍රතිසංස්කරණය සඳහා ජනාධිපති එර්දොගාන් වෙත දැන් ජනවරම හිමිවී ඇත.

සියවසකට ආසන්න කාලයකට පෙර තුර්කිය ජනරජයක් වූ තැන් පටන් මේ දක්වා ව්‍යවස්ථා වෙනසකට සිදුවන වඩාත්ම පරිවර්තනීය වැඩපිළිවෙල මෙයින් නිරුපණය කෙරේ.

කැබිනට් අමාත්‍යවරුන් පත්කිරීම, නියෝග පැනවීම, ජ්‍යෙෂ්ඨ විනිසුරුවරුන් පත් කිරීම මෙන්ම පාර්ලිමේන්තුව විසුරුවා හැරීම ආදිය සම්බන්ධයෙන් සුවිශාල බලයක් ජනාධිපතිවරයා වෙත පැවරෙනු ඇත.

(මූලාශ්‍රය : බීබීසී සංදේශය)

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top