Jun 29, 2017

විරෝධතා පාලනයට පොලිසියට කැටපෝල

ලොව පුරා ඇතිවන විවිධ ආකාරයේ විරෝධතා උද්ඝෝෂණ වැනි කලහකාරී ක්‍රියාවන් පාලනයට යොදාගනු ලබන්නේ කදුලු ගෑස්, බැටන් පොලු ප්‍රහාර, රබර් උණ්ඩ සහ ජල ප්‍රහාර වැනි දෑය.

විරෝධතාකරුවන්ට අවම හානියක් වන ආකාරයට විරෝධතා පාලනයට අලුත් ක්‍රමයක් හඳුන්වාදීමට ඉන්දීය පොලිසිය අත්හදා බැලීම් සිදු කර ඇති බව වාර්තා වේ.

කැටපෝල යොදා ගැනීම මේ නව ක්‍රමය වේ. කෙසේවුවද මෙහිදී ගල් භාවිතා නොකරන අතර ඒ වෙනුවට යොදාගනු ලබන්නේ මිරිස් කුඩු යෙදූ බෝලය.

විශේෂිත ක්‍රමවේදයකට අනුව සකස් කරන ලද මෙම කැටපෝලයෙන් ඉතා දුරක සිට පවා මිරිස් බෝල විදිය හැකි අතර එය අහසේදී පිපිරී එහි තුළ ඇති කුඩු විසිර යයි. අධික සැරකින් යුක්ත මෙම මිරිස් බෝල සිරුරේ ස්පර්ශ වීම දැඩි වේදනා සහිත බවද ඉන්දීය පොලීසිය වාර්තා කරයි.

ඉන්දියාවේ හර්යානා ප්‍රාන්ත පොලීසිය විසින් මෙම ක්‍රමවේදය හදුන්වා දී ඇති අතර මෙහි මූලික අරමුණ වී ඇත්තේ විරෝධතාකරුවන් යම් නිශ්චිත ප්‍රදේශයකින් පලවා හැරීම බවට පොලීසිය පවසයි. ජීවිත හානියක් සිදු නොකර මර්ධනය පාලනය කිරීමේ හැකියාවක් මෙම මිරිස් බෝලවලට ඇති බවට ඔවුන් වැඩිදුරටත් සඳහන් කරයි.

මෙම මිරිස් බෝල ප්‍රහාර වෙනුවෙන් විශේෂිත බෝලවර්ගයක් සකස් කරන අතර ඒවා තුළ මිරිස් කැබළි පුරවනු ලැබේ. මේ සඳහා හර්යානා ප්‍රාන්තයේ වගා කෙරෙන අධික සැරකින් යුක්ත මිරිස් වර්ගයක් භාවිත කරනු ලබන අතර මේ හේතුවෙන් විරෝධතාවයන් සඳහා සහභාගීවන ප්‍රමාණයද සැලකිය යුතු මට්ටමකින් පහල ගොස් ඇති බවට ඉන්දීය පොලීසිය වාර්තා කරයි.

බැටන් පොලු, කඳුලු ගෑස් සහ රබර් උණ්ඩ වැනි දෑ මගින් පොලිස් නිලධාරීන්ට බලපෑ හැකි මානව හිමිකම් ගැටලු මෙම ක්‍රමවේදයෙන් මග හැරී යන බවට ඉන්දීය ප්‍රාන්ත පොලිස් ප්‍රධානී අනිල් කුමාර් රාහෝ ප්‍රකාශ කර තිබේ.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top