15976 BM WEB BANNER 01
Nov 25, 2016

ඌරෙක් එක්ක නළුවෙක් බැංකු ගිහිං!

බැංකුවක ස්වයංක්‍රීය මුදල් නිකුතු යන්ත්‍රයක් අසළ වූ දිගු පෝලිමක, සියතින් ගත් ඌරු පැටවකු සමග රැඳී සිටි දකුණු ඉන්දීය නළුවකු අද (නොවැ. 24) මාධ්‍යවල ඇස ගැටිණි.

තෙළිඟු නළුවකුවන රවි බාබු පැවසුවේ මෙම ඌරු පැටවා සිය මීළඟ චිත්‍රටයේ රඟන බවය.

'කළු සල්ලි' මැඩීමේ ඉන්දීය රජයේ නව ප්‍රතිපත්තියට අනුව ඉන්දීය රුපියල් පන්සියය හා දහසේ නෝට්ටු අවලංගු කිරීමත් සමග බැංකු අසළ දිගු පෝලිම් පැවැතීම මේ වනවිට සාමාන්‍ය තත්ත්වයකි.

එවැනි එක් පෝලිමක රැඳී සිටි චිත්‍රපට නළු රවි බාබු, "ඌරු පැටියාව අරගෙන පරිගණක ග්‍රැෆික් විද්‍යාගාරයකට යමින් සිටින අතරේදියි මට තේරුණේ වාහනයේ තෙල්වලට අවශ්‍ය මුදල් මා ළඟ නැති බව" යනුවෙන් බීබීසී සමග පැවසීය.

"ඒ නිසා මං ATM එක ළඟ නතර වුණා. ඒත් මගේ නිෂ්පාදන සහකාර අතේ සිටි ඌරු පැටියා කෑගසන්නට පටන්ගත් නිසා මට සිද්දවුනේ එයාව මගේ අතේම තියාගන්නයි. එයාට පහසුවන විදිහට තියාගන්න නම්, එයාගේ පපුව යටින් අත තියලා තමන්ට ළං වෙන්නට තියාගන්න ඕනෑ." යැයි රවි බාබු පැහැදිළි කළේය.

'බන්ටි'

කෙසේ වෙතත්, මේ ඌරු පැටවා සහ නළුවාගේ ඡායාරූප ඉන්දීය සමාජ මාධ්‍ය ජාල තුළ පැතිර යන බව වාර්තා වේ.

'බන්ටි' නම්වූ මෙම ඌරු පැටවා, රවි බාබුගේ චිත්‍රපටයේ රඟපෑම සඳහා ඇතිකරනු ලබන ඌරන් 25 දෙනෙකුගෙන් අයෙකි.

"මේ අය ඉතා වේගයෙන් වැඩෙනවා. ඒ නිසා, ඌරු පැටියාගේ චරිතය එක ප්‍රමාණයෙන් ම තබාගැනීමේ අවශ්‍යතාව මත මං කීප දෙනෙක් ම ඇතිකරනවා." යනුවෙන් රවි බාබු බීබීසී වෙත කරුණු පැහැදිළි කළේය.

දකුණු ඉන්දියාවේ හයිද්‍රාබාද් නගරයේ පිහිටි අදාළ මුදල් යන්ත්‍රය අසල වූ පෝලිමේ 'බන්ටි' ද කිහිළි ගන්වාගෙන සිටි රවි බාබුට රුපියල් 2000 ක් ලබාගැනීම සඳහා විනාඩි 15 ක කාලයක් එහි ගතකිරීමට සිදුවිය. ඔහුට ඉදිරියෙන් පෝලිමේ සිටි පුද්ගලයින් සිව්දෙනා ඌරු පැටවා පිළිබඳ වදවනවා වෙනුවට මුදල් ලබාගැනීම කෙරෙහි දැඩි අවධානය යොමු කරමින් සිටියහ.

දෙසතියකට පෙර මුදල් අවලංගු කළ අවස්ථාවේ සිට ඉන්දියාව තුළ පවතින්නේ ව්‍යාකූල තත්ත්වයකි. බැංකු සහ මුදල් යන්ත්‍ර අසල පැය ගණන් ජනතාව පෝලිම් ගැසී සිටිද්දී නිතරම අදාළ මුදල් නිකුතු යන්ත්‍රවල මුදල් අවසන්වී යයි.

(බීබීසී සංදේශය)

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top