15976 BM WEB BANNER 01
Nov 30, 2017

අධිකරණයේදී වස පානය කළ යුද අපරාධකරු මියයයි

නෙදර්ලන්තයේ හේග් නුවර පිහිටි ජාත්‍යන්තර අපරාධ අධිකරණය තුළදී වස පානය කළ බොස්නියානු - ක්‍රෝඇට් ජාතික යුද අපරාධකරුවෙකු වන ජනරාල් ස්ලොබොඩාන් ප්‍රයැක් මියගියේය.

පැරණි යුගෝස්ලාවියාවේ අපරාධ සම්බන්ධ අවසන් විමර්ශනයේදී ඔහු එසේ වස පානය කළ අතර පසුව රෝහලේදී මියගොස් තිබේ.

ස්ලොබොඩාන් ප්‍රයැක් හට මුලින් ලබා දී තිබූ විසි අවුරුදු සිර දඬුවම තහවුරු කරන බව අධිකරණයේ සභාපතිවරයා නිවේදනය කළ අවස්ථාවේ ඔහු කිසියම් දියරයක් පානය කළේය.

72 හැවිරිදි ස්ලොබොඩාන් ප්‍රයැක්, අධිකරණය ඉදිරියට පමුණුවන ලද බොස්නියානු - ක්‍රෝඇට් ජාතික හිටපු යුද සහ දේශපාලන නායකයන් හය දෙනා අතරින් කෙනෙකි.

බොස්නියාවේ මොස්තාර් (Mostar) නගරයේදී සිදු කරන ලද අපරාධ සම්බන්ධයෙන් 2013 දී ඔහුට විසි වසරක සිර දඬුවමක් නියම කරන ලදි. සැකකරුවන් හය දෙනාම එම දඬුවමට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කර තිබුණි.

එම අභියාචනයේ තීන්දුව ප්‍රකාශයට පත්කරන අවස්ථාවේ සැකකරුවන් හය දෙනාම අධිකරණය ඉදිරියේ පෙනී සිටියහ.

ඔවුන්ට එරෙහිව මුලින් පැනවූ දඬුවම තහවුරු කරන බව අධිකරණය නිවේදනය කළ අවස්ථාවේ "මම අපරාධකරුවෙක් නොවේ" යැයි හඬ නැගූ ඔහු කිසියම් දියරයක් පානය කරමින් "මම වස බිව්වා" යැයි පැවසීය.

ඔහු මියගිය බව ක්‍රොඒෂියාවේ මාධ්‍ය වාර්තා කළ නමුත් හේග් අධිකරණය පවසන්නේ තමන්ට එය තහවුරු කළ නොහැකි බවය.

1992 සිට 1995 දක්වා බොස්නියාවේ සර්බ්වරුන්ට එරෙහිව පැවති යුද ගැටුම්වලදී හවුල්කරුවන් වුවද, බොස්නියාවේ ක්‍රෝඇට් ජාතිකයෝ සහ මුස්ලිම්වරු මාස එකොළහක කාලයක් එකිනෙකාට එරෙහිව ද සටන් වැදී සිටියහ.

එහිදී මොස්තාර් නගරය ආශ්‍රිතව දරුණු සටන් පැවතිණි.

(බීබීසී සංදේශය)

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top